18. සමුද්ද වර්‍ගය
1. 18. 1.
සමුද්ද සූත්‍රය
228. මහණෙනි අශ්‍රැතවත් පුහුදුන් තෙමේ මුහුද මුහුදැ යි කියයි. මහණෙනි, මෙය බුදුසස්නෙහි මුහුද නො වේ. මහණෙනි, මෙය මහ දියරැසෙකි, මහ දියකඳෙකි. මහණෙනි මිනිසාගේ ඇස මුහුදෙකි, එහි රූමුවා වේගය වේ. යමෙක් ඒ රූමුවා වේගය ඉවසා නම් මහණෙනි මේ තෙමේ රළ සහිත සුළි සහිත සැඩමසුන් සහිත රකුසන් සහිත ඇස නමැති මුහුද තරණය කෙළේ ය යි කියනු ලැබේ. (චතුරෝඝය) තරණය කළ පරතෙරට පැමිණි ඒ බමුණු තෙමේ (නිවන් නමැති) ගොඩබිම සිටියි.
කන ... නැහැය ... මහණෙනි මිනිසාගේ දිව මුහුදෙකි. එහි රසමුවා වේගය වේ. යමෙක් ඒ රසමුවා වේගය ඉවසා නම් මහණෙනි මේ තෙමේ රළ සහිත සුළි සහිත සැඩමසුන් සහිත රකුසන් සහිත දිව නමැති මුහුද තරණය කෙළේ ය යි කියනු ලැබේ. (චතුරෝඝය) තරණය කළ පරතෙරට පැමිණි ඒ බමුණු තෙමේ (නිවන් නමැති) ගොඩබිම සිටී. කය .... මහණෙනි මිනිසාගේ සිත මුහුදෙකි. එහි දහම්මුවා වේගය වේ. යමෙක් ඒ දහම්මුවා වේගය ඉවසා නම්, මහණෙනි මේ තෙමේ රළ සහිත සුළි සහිත සැඩමසුන් සහිත රකුසන් සහිත සිත නමැති මුහුද තරණය කෙළේ ය යි කියනු ලැබේ. (චතුරෝඝය) තරණය කළ පරතෙරට පැමිණි ඒ බමුණු තෙමේ (නිවන් නමැති) ගොඩබිම සිටියි.
යමෙක් සැඬමසුන් සහිත රකුසන් සහිත රළබිය සහිත තරණය කිරීමට අපහසු මේ මුහුද තරණය කෙළේ නම් හෙතෙමේ මගනැණින් නිවන් අවබෝධ කෙළේ වැස නිම වූ බඹසර ඇතියේ ලොව කෙළවරට ගියේ නිවන් නමැති පරතෙරට පැමිණියේ ය යි කියනු ලැබේ යි.
1. 18. 2.
දුතිය සමුද්ද සූත්‍රය
229. මහණෙනි අශ්‍රැතවත් පුහුදුන් තෙමේ මුහුද මුහුදැ යි කියා යි. මහණෙනි මෙය බුදුසස්නෙහි මුහුද නො වේ. මහණෙනි මේ මහ දියරැසකි. මහදියකඳෙකි. මහණෙනි, ඉටු කැමැති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. මහණෙනි මෙය බුදුසස්නෙහි මුහුදැ යි කියනු ලැබේ.
මෙහි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝ වැසියා මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව බොහෝ සෙයින් ගිලුණී අවුල් වූ හූවටක් වැනි වූවා කුරුලු කැදැල්ලක් වැනි වූවා මුදුතණ බබුස්තණ වැනි සැපයෙන් තොර නපුරු ගති ඇති විවස ව පතිතවන සසර නො ඉක්මවයි.
මහණෙනි කනින් දතයුතු සද්ද ඇත ... මහණෙනි නැහැයෙන් දතයුතු ගඳ ඇත ... මහණෙනි දිවෙන් දත යුතු රස ඇත ... මහණෙනි කයින් දතයුතු පහස් ඇත ... මහණෙනි ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දත යුතු දහම් ඇත. මහණෙනි බුදුසස්නෙහි මේ මුහුදැ යි කියනු ලැබේ. මෙහි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝ වැසියා මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව බෙහෙවින් ගිලුණී අවුල් වූ හුවටක් වැනි වූවා කුරුලු කැදැල්ලක් වැනි වූවා මුදුතණ බබුස්තණ වැනි වූවා සැපයෙන් තොර නපුරු ගති ඇති විවස ව පතිතවන සසර නො ඉක්මව යි.
යමෙකු විසින් රාගයත් දෝසයත් මෝහයත් දුරු කරන ලද්දාහු නම් හෙතෙමේ සැඬමසුන් සහිත රකුසන් සහිත රළබිය සහිත තරණය කිරීමට අපහසු මේ මුහුද මැනැවින් තරණය කෙළේ ය.
ඇලුම් ඉක්ම වූ මරුන් දුරු කළ උපධි රහිත හෙතෙමේ නැවත නො ඉපැද්ම පිණිස දුක දුරු කෙළේ ය. අස්තයට ගියේ ප්‍රමාණත්වයට නො එයි. මරුරජ මුළා කෙළේ ය යි කියමි යි.
1. 18. 3.
බාලිසිකෝපම සූත්‍රය
230. මහණෙනි යම් සේ බිලී වැද්දෙක් ඇම සහිත බිලිය ගැඹුරු දියවිලක බහාලන්නේ ද, ඒ මේ බිලිය ඇමට යොමු වූ ඇස් ඇති එක්තරා මසෙක් ගිලින්නේ ය. මහණෙනි මෙසේ ඒ මසු බිලී වැද්දාගේ ගිලි බිලිය ඇත්තේ දුකට පැමිණියේ විපතට පැමිණියේ බිලි වැද්දා විසින් කැමති පරිදි කළහැක්කෙක් වන්නේ ය. මහණෙනි එසෙයින් මැ ලොව සතුන්ට දුක් පිණිස ප්‍රාණීන්ට පීඩා පිණිස මේ බිලී සයෙක් වේ. කවර සයෙක් ද යත්;
මහණෙනි ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, මහණෙනි මේ මහණ තෙමේ මරුහුගේ ගිලි බිලිය ඇත්තේ ය යි කියනු ලැබේ. මහණෙනි කනින් දතයුතු සද්ද ඇත. ... මහණෙනි නැහැයෙන් දත යුතු ගඳ ඇත. … මහණෙනි දිවෙන් දත යුතු රස ඇත