1. 18. 7.
උදායී සූත්රය
234. එක්කලෙක ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ද ආයුෂ්මත් උදායී තෙරණුවෝ ද කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට මෙය කීහ:
ඇවැත්නි ආනන්දයෙනි, “මෙ කරුණෙනිදු මේ කය අනත් ය යි භාග්යවතුන් වහන්සේ විසින් මේ කය යම්සේ නන්අයුරින් වදාරන ලද ද, විතර කරන ලද ද, එපරිදෙන් ම මෙකරුණෙනුදු මේ විඥානය අනත් ය යි මේ විඥානය ද කියන්නට දෙසන්නට පනවන්නට පිහිටුවන්නට විතර කරන්නට බෙදන්නට පැහැදිලි කරන්නට හැක්කේ දැ” යි.
ඇවැත්නි උදායීනි, “මෙකරුණෙනුදු මේ කය අනත් යයි භාග්යවතුන් වහන්සේ විසින් මේ කය යම්සේ නන් අයුරින් වදාරන ලද ද, විතර කරන ලද ද, පවසන ලද ද, එපරිද්දෙන් ම මෙ කරුණෙනුදු මේ විනැණත් අනත් ය යි මේ විනැණ ද කියන්නට දෙසන්නට පනවන්නට පිහිටුවන්නට විතර කරන්නට බෙදන්නට පැහැදිලි කරන්නට හැක්කේ ය” යි.
ඇවැත්නි ඇසත් රූපයනුත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී දැ යි. ඇවැත්නි එසේ යයි. ඇවැත්නි චක්ඛුවිඤ්ඤාණයාගේ ඉපදීම පිණිස යම් හේතුවකුත් යම් ප්රත්යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්රත්යයත් සියල්ලෙන් සියල්ල සියලු අයුරින් සියල්ල නිරවශේෂයෙන් නිරුද්ධ වන්නේ නම් එකල්හි චක්ඛුවිඤ්ඤාණයෙක් පැනෙන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ මැ යි. ඇවැත්නි “මේ නයෙනුදු භාග්යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ විඤ්ඤාණය අනාත්ම ය” යි මෙය වදාරන ලද්දේ ය. විවරණය කරන ලද්දේ ය. පවසන ලද්දේ ය ...
ඇවැත්නි දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදී දැ යි. එසේ ය ඇවැත්නි යි. ඇවැත්නි ජිව්හාවිඤ්ඤාණයාගේ ඉපදීම පිණිස යම් හේතුවකුත් යම් ප්රත්යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්රත්යයත් සියල්ලෙන් සියල්ල සියලු අයුරින් සියල්ල නිරවශේෂයෙන් නිරුද්ධ වන්නේ නම් එකල්හි ජිව්හාවිඤ්ඤාණයෙක් පැනෙන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ ම ය. ඇවැත්නි මේ නයෙනුදු භාග්යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ විඤ්ඤාණය අනාත්ම යයි මෙය වදාරන ලද්දේ ය. විවරණය කරන ලද්දේ ය. පවසන ලද්දේ ය ...
ඇවැත්නි “සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී දැ”යි. එසේ ය ඇවැත්නි යි. ඇවැත්නි මනෝවිඤ්ඤාණයාගේ ඉපදීම පිණිස යම් හේතුවකුත් යම් ප්රත්යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්රත්යයත් සියල්ලෙන් සියල්ල සියලු අයුරින් සියල්ල නිරවශේෂයෙන් නිරුද්ධ වන්නේ නම් එකල්හි මනෝවිඤ්ඤාණයෙක් පැනෙන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ ම ය. ඇවැත්නි මේ නයෙනුදු භාග්යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ විඤ්ඤාණය අනාත්ම ය යි මෙය වදාරන ලද්දේ ය. විවරණය කරන ලද්දේ ය. පවසන ලද්දේ ය.
ඇවැත්නි යම්සේ හර කැමති හර සොයන හර සෙවුම කරන පුරුෂයෙක් තියුණු කෙටේරියක් ගෙන වනයට පිවිසෙන්නේ ද, හේ එහි ඇද නැති අලුත් නොපීදුනු මහත් කෙසෙල් කඳක් දක්නේ ය. ඒ මෙය මුල සිඳින්නේ ය. මුල සිඳ අග සිඳින්නේ ය. අග සිඳ පත්වැටි ගලවන්නේ ය. හෙතෙමේ එහි එලය වත් නො ලබන්නේ ය. හර කොයින් ද?
ඇවැත්නි එසෙයින් ම මහණ ස්පර්ශායතන සයෙහි තමා නො ම දකී. තමා අයත් දැයක් නො ම දකී. හේ මෙසේ නො ම දක්නේ ලොව කිසිවක් නො ගනී. නො ගන්නේ නො තැතිගනී. නො තැතිගන්නේ තෙමේ ම පිරිනිවෙයි. ජාති ක්ෂය විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදී. මේ බැව් පිණිස අනෙකක් නැත යි දැනගනී යි.