1. 18. 5.
කොට්ඨිත සූත්‍රය
232. එක්කලෙක ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝත් බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටි සේක් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වුහ. සතුටු විය යුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත්පස්ව වැඩහුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ:
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක් ද, ඇස රූනට සංයෝජන ද, රූ ඇසට සංයෝජන ද? කන සදනට සංයෝජන ද, සදහු කනට සංයෝජන ද? නැහැය ගඳනට සංයෝජන ද, ගඳහු නැහැයට සංයෝජන ද? දිව රසයනට සංයෝජන ද, රස දිවට සංයෝජන ද? කය පහස්නට සංයෝජනද, පහස්හු කයට සංයෝජන ද? සිත දහමුන්ට සංයෝජන ද, දහම් සිතට සංයෝජන දැ යි.
ඇවැත්නි කොට්ඨිතයෙනි, ඇස රූනට සංයෝජන නො වේ. රූ ඇසට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... දිව රසයනට සංයෝජන නො වේ. රස දිවට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... සිත දහමුන්ට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.
ඇවැත්නි, යම්සේ කළු ගොනෙකුත් සුදුගොනෙකුත් එක් දමෙකින් හෝ යොතෙකින් හෝ ඈඳන ලද්දාහු වෙත්ද, කළුගෝනා සුදුගොනාගේ බන්‍ධනය යි ද සුදුගොනා කළුගොනාගේ බන්‍ධනය යි ද යමෙක් මෙසේ කියන්නේ නම් ඒ කියන්නා මැනැවින් කියන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ ම ය. ඇවැත්නි කළුගෝනා සුදුගොනාගේ බන්‍ධන නො වේ. සුදුගොනා කළුගොනාගේ බන්‍ධන නො ද වේ. යම් එක් දමෙකින් හෝ යොතෙකින් හෝ ඔහු ඈඳන ලද්දාහු නම් එය එහි බන්‍ධන යි.
ඇවැත්නි එසෙයින් ම ඇස රූපයනට සංයෝජන නො වේ. රූපය ඇසට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... දිව රසයනට සංයෝජන නො වේ. සිත දහමුන්ට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.
ඇවැත්නි ඇස හෝ රූපයනට සංයෝජන වී නම් රූපය හෝ ඇසට සංයෝජන වී නම් මැනැවින් දුක් ගෙවීම පිණිස මේ බඹසරවිසුම නො පැනෙන්නේ ය. ඇවැත්නි යම් හෙයකින් ඇස රූපයනට සංයෝජන නො වේ ද, රූපය ඇසට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, එහෙයින් මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසරවිසුම පැනේ ...
ඇවැත්නි දිව හෝ රසයනට සංයෝජන වී නම් රස හෝ දිවට සංයෝජන වී නම් මැනැවින් දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම නො පැනේ. යම් හෙයකින් දිව රසයනට සංයෝජන නො වේ ද, රස දිවට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, එහෙයින් මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසර විසුම පැනෙයි. ...
ඇවැත්නි සිත හෝ දහමුන්ට සංයෝජන වී නම් දහම් හෝ සිතට සංයෝජන වී නම් මැනැවින් දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම නො පැනේ. ඇවැත්නි යම් හෙයෙකින් සිත දහමුන්ට සංයෝජන නො වේ ද, දහම් සිතට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, එහෙයින් මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසරවිසුම පැනේ.
ඇවැත්නි යම්සේ ඇස රූපයනට සංයෝජන නො වේ ද, රූපය ඇසට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද ... දිව රසයනට සංයෝජන නො වේ ද ... සිත දහමුන්ට සංයෝජන නො වේ ද, දහම් සිතට සංයෝජන නො වේ ද එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, ඒ මෙය මෙනයෙනුදු දත යුතු යි.