1. 15. 8.
අත්ථිනුඛොපරියාය සූත්රය
153. සැවැත්නුවර–
මහණෙනි, මහණ තෙමේ යම් කරුණකට පැමිණ ඇදහීමෙන් තොර ව ම රුචියෙන් තොර ව ම ඇසීමෙන් තොර ව ම අයුරු සැලකීමෙන් තොර ව ම ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරන ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි. රහත්බව පළ කරන්නේ නම් එබඳු කරුණෙක් ඇද්දැ?යි.
වහන්ස, අපගේ දහම්හු භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතියහ. වහන්ස, මේ දේශනාවේ අරුත භාග්යවතුන් වහන්සේට ම වැටහේවා. අයැදිමි, භාග්යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහ යි. මහණෙනි, එසේ නම් අසවු, මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි. එසේ ය වහන්සැ යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මහණ තෙමේ ඇදහීමෙන් තොර ව ම ... ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදී. මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි. රහත්බව පළ කරන්නේ නම් එබඳු කරුණෙක් ඇත. මහණෙනි, යම් කරුණකට පැමිණ මහණ තෙමේ ඇදහීමෙන් තොර ව ම ... ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරන ලදී, මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි රහත්බව පළ කෙරේ නම් එබඳු කරුණ කවරේ ද යත්:
මහණෙනි, මෙහි මහණ තෙමේ ඇසින් රූ දැක තමා තුළ ඇති රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ ඇතැ යි දැනගනී ද, තමා තුළ නැති රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ නැතැ යි දැනගනී ද; මහණෙනි, මහණ තෙමේ ඇසින් රූ දැක තමා තුළ ඇත්තාවූ හෝ රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ ඇතැ යි දැනගනී. තමා තුළ නැත්තාවූ හෝ රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ නැතැ යි දැනගනී යන ඒ යමක් වේ නම් මහණෙනි, මේ දහම්හු ඇදහීමෙන් හෝ දතයුත්තාහු ද රිසියෙන් හෝ දතයුත්තාහු ද ඇසීමෙන් හෝ දතයුත්තාහු ද, අයුරු සැලකීමෙන් හෝ දතයුත්තාහු ද, ලබ්ධි විසින් ගැනුමෙන් හෝ දතයුත්තාහු දැ?යි. වහන්ස, මෙය නො වේ ම ය. මහණෙනි, මේ දහම්හු නුවණින් දැක දත යුත්තාහු නො වෙද්දැ?යි. වහන්ස, එසේය.
මහණෙනි, යම් කරුණකට පැමිණ මහණ තෙමේ ඇදහීමෙන් තොර ව ම ... ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදි, කටයුතු කරන ලදි, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි රහත්බව පළ කෙරේ නම් මේ ඒ කරුණ යි.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: මහණ තෙමේ කනින් හඬ අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පැහැසිය පැහැස ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: මහණ තෙමේ සිතින් දහම් දැන තමා තුළ ඇති රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ ඇතැ යි දැනගනී ද, තමා තුළ නැති රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ නැතැ යි දැනගනී ද, මහණෙනි, මහණ තෙමේ සිතින් දහම් දැන තමා තුළ ඇත්තා වූ හෝ රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ ඇතැ යි දැනගනී. තමා තුළ නැත්තා වූ හෝ රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ නැතැ යි දැනගනී යන ඒ යමක් වේ නම් මහණෙනි, මේ දහම්හු ඇදහීමෙන් හෝ දත යුත්තාහු ද ... ලබ්ධි විසින් ගැනීමෙන් හෝ දත යුත්තාහු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. මහණෙනි, මේ දහම්හු නුවණින් දැක දත යුත්තාහු නො වෙද්දැ?යි. වහන්ස, එසේ ය.
මහණෙනි, යම් කරුණකට පැමිණ මහණ තෙමේ ඇදහීමෙන් තොර ව ම රිසියෙන් තොර ව ම ඇසීමෙන් තොර ව ම අයුරු සැලකීමෙන් තොර ව ම ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරන ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි. රහත්බව පළ කෙරේ නම් මෙ ද ඒ කරුණ යි.
1. 15. 9.
ඉන්ද්රියසම්පන්න සූත්රය
154. සැවැත්නුවර–
එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, ඉන්ද්රියසම්පන්න ය, ඉන්ද්රියසම්පන්න ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ඉන්ද්රියසම්පන්න වේ දැ? යි.