15. නවපුරාණ වර්ගය
1. 15. 1.
කම්ම සූත්රය
146. මහණෙනි, අලුත් කර්ම හා පැරණි කර්ම ද කර්මනිරෝධය ද කර්මනිරෝධගාමිනී ප්රතිපදාව ද දේශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි.
මහණෙනි, පැරණි කර්මය කවරේ ද යත්: මහණෙනි, ඇස ප්රත්යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්මයෙකි. කන ප්රත්යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්මයෙකි. නැහැය ප්රත්යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්මයෙකි. දිව ප්රත්යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්මයෙකි. කය ප්රත්යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්මයෙකි. සිත ප්රත්යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්මයෙකි. මහණෙනි, මේ පැරණි කර්ම යයි කියනු ලැබේ.
මහණෙනි, අලුත් කර්මය කවරේ ද යත්: දැන් කයින් වදනින් සිතින් යම් කර්මයක් කෙරේ නම් මහණෙනි, මේ අලුත් කර්ම යයි කියනු ලැබේ.
මහණෙනි, කර්මනිරෝධය කවරේ ද යත්: මහණෙනි, යමෙක් කායකර්ම වාක්කර්ම මනඃකර්මයන්ගේ නිරෝධයෙන් විමුක්තිය ස්පර්ශ කෙරේ නම් මහණෙනි, මේ කර්මනිරෝධ යයි කියනු ලැබේ.
මහණෙනි, කර්ම නිරෝධගාමිනීප්රතිපදාව කවරයැ යත්: මේ ආර්ය්යඅෂ්ටාඞ්ගික මාර්ගය මැ යි: එනම් සම්මාදිටිඨි, සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යි. මහණෙනි, මේ කර්මනිරෝධගාමිනීප්රතිපදාව යි කියනු ලැබේ.
මහණෙනි, මෙසේ මා විසින් තොපට පැරණිකර්මය දේශනා කරන ලදී. අලුත්කර්මය දේශනා කරන ලදී. කර්මනිරෝධය දේශනා කරන ලදි. කර්මනිරෝධගාමිනීප්රතිපදාව දේශනා කරන ලදී. මහණෙනි, ශ්රාවකයන්ට හිතෛෂී වූ අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් තොපට කටයුතු නම් මා විසින් එය තොපට කරන ලදී. මහණෙනි, තෙල රුක්මුල් ඇත. තෙල සුන්යාගාර ඇත. මහණෙනි, ධ්යාන කරවු, නහමක් පමාවවු. පසු ව නහමක් විපිළිසර ඇත්තෝ වවු. මේ තොපට අපගේ අනුශාසනාව යි.
1. 15. 2.
සප්පාය සූත්රය
147. මහණෙනි, නිවනට පිටිවහල් වූ පිළිවෙත තොපට දේශනා කරන්නෙමි, එය අසවු, මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි. මහණෙනි, නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත කවර යැ යත්:
මහණෙනි, මෙහි මහණ ඇස අනිත්ය යි දකී. රූ අනිත්ය යි දකී. චක්ෂුර්විඥානය අනිත්ය යි දකී. ඇස්පහස අනිත්ය යි දකී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් ඒ ද අනිසැ යි දකී.
කන ... නැහැය ... දිව අනිසැ යි දකී. රස අනිසැ යි දකී. ජිව්හාවිඤ්ඤාණය අනිසැයි දකී. දිවුපහස අනිසැ යි දකී. දිවුපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි දකී.
කය ... සිත අනිසැ යි දකී. (අරමුණු) දහම් අනිසැ යි දකී. මනෝ විඤ්ඤාණය අනිසැ යි දකී. මනපහස අනිසැ යි දකී. මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි දකී. මහණෙනි, මේ නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත යි.
1. 15. 3.
දුතිය සප්පාය සූත්රය
148. මහණෙනි, නිවනට පිටිවහල් වූ පිළිවෙත තොපට දේශනා කරන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. මහණෙනි, නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත කවර යැ යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇස දුකැ යි දකී. රූ දුකැ යි දකී. චක්ෂුර්විඥානය දුකැ යි දකී. ඇස්පහස දුකැ යි දකී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුකැ යි දකී.
කන ... නැහැය ... දිව දුකැ යි දකී, රස දුකැ යි දකී, ජිව්හාවිඤ්ඤාණය දුකැ යි දකී, දිව්පහස දුකැ යි දකී, දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුකැ යි දකී.
කය ... සිත දුකැ යි දකී. දහම් දුකැ යි දකී. මනවිණැ දුකැ යි දකී, මනපහස දුකැ යි දකී, මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුකැ යි දකී. මහණෙනි, මේ නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත යි.