1. 15. 7.
කිමත්‍ථිය සූත්‍රය
152. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණගොයුම්හු කෙරෙහි බඹසර වසනු ලැබේ දැ?” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට “ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ ය”යි මෙසේ පවසවු. මහණෙනි, ඉදින් ඒ අන්තොටුපිරිවැජ්ජෝ ඇවැත්නි, යමක් පිරිසිඳ දැනීම පිණිස මහණගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ නම් ඒ දුක කවරේ දැ? යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මෙසේ හෙළිකරවු.
ඇවැත්නි, ඇස දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැසේ. රූ දුක් ය. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැසේ. ඇස්විනැණ දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැසෙයි. ඇස්පහස දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැසෙයි. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසෙයි.
කන දුක් ය. ... නැහැය දුක් ය. ... දිව දුක් ය. ... කය දුක් ය ... සිත දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භගවත්හු කෙරෙහි බඹසර වෙසෙයි. ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙද දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භගවත්හු කෙරෙහි බඹසර වෙසෙයි. ඇවැත්නි, යමක් පිරිසිඳ දැනීම පිණිස භගවත්හු කෙරෙහි බඹසර වැසේ නම් මේ ඒ දුක යයි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මෙසේ පවසවු යි.
1. 15. 8.
අත්‍ථිනුඛොපරියාය සූත්‍රය
153. සැවැත්නුවර–
මහණෙනි, මහණ තෙමේ යම් කරුණකට පැමිණ ඇදහීමෙන් තොර ව ම රුචියෙන් තොර ව ම ඇසීමෙන් තොර ව ම අයුරු සැලකීමෙන් තොර ව ම ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරන ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි. රහත්බව පළ කරන්නේ නම් එබඳු කරුණෙක් ඇද්දැ?යි.
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතියහ. වහන්ස, මේ දේශනාවේ අරුත භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. අයැදිමි, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ යි. මහණෙනි, එසේ නම් අසවු, මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි. එසේ ය වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මහණ තෙමේ ඇදහීමෙන් තොර ව ම ... ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදී. මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි. රහත්බව පළ කරන්නේ නම් එබඳු කරුණෙක් ඇත. මහණෙනි, යම් කරුණකට පැමිණ මහණ තෙමේ ඇදහීමෙන් තොර ව ම ... ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරන ලදී, මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි රහත්බව පළ කෙරේ නම් එබඳු කරුණ කවරේ ද යත්: