1. 15. 6.
අන්තේවාසික සූත්රය
151. මහණෙනි, අත වැස්සන් නැති ඇදුරන් නැති හෙවත් ඇතුළත කෙලෙස් නැති කෙලෙසුන් විසින් ශික්ෂණ නැති මහණ මේ බඹසර වෙසෙයි. මහණෙනි, අතැවැසි කෙලෙසුන් සහිත ඇදුරු කෙලෙසුන් සහිත මහණ නො පහසුව දුකසේ වෙසෙයි. මහණෙනි, අන්තේවාසික අනාචරියක මහණ සුවසේ පහසු ලෙස වෙසෙයි.
මහණෙනි, සාන්තේවාසික සාචරියක මහණ කෙසේ නම් දුකසේ නො පහසු ලෙස වෙසේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට ඇසින් රූපයක් දැකීමෙන් සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල් දහම්හු උපදිද් ද, ඔහු ඔහුගේ ඇතුළත වෙසෙත්. ලාමක අකුසල් දහම්හු ඔහුගේ ඇතුළත වෙසෙත් යන මෙකරුණෙන් සාන්තේවාසික යයි කියනු ලැබේ. ඒ කෙලෙස්හු ඔහු ශික්ෂණ කෙරෙති. ලාමක අකුසල් දහම්හු ඔහු ශික්ෂණ කෙරෙති යි මෙකරුණින් හේ සාචරියක යයි කියනු ලැබේ.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි. කනින් සද අසා මහණහට ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: නැහැයෙන් ගඳ ගෙන මහණහට ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: දිවෙන් රස විඳ මහණහට සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිතවූ ලාමක අකුසල් දහම්හු උපදිද්ද ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: කයින් පහස පැහැස්මෙන් මහණහට …
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: සිතින් දහම් දැන මහණහට සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල්දහම්හු උපදිද් ද ඒ අකුසල්හු ඔහුගේ ඇතුළත වෙසෙත්. ලාමක අකුසල්දහම්හු ඔහුගේ ඇතුළත වෙසෙත්නු යි මෙකරුණින් සාන්තේවාසික යයි කියනු ලැබේ. ඒ කෙලෙස්හු ඔහු ශික්ෂණය කෙරෙති. ලාමක අකුසල්දහම්හු ඔහු ශික්ෂණය කෙරෙත් නු යි මෙකරුණින් සාචරියක යයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ සාන්තේවාසික සාචරියක මහණ දුකසේ නො පහසු ලෙස වෙසෙ යි.
මහණෙනි, අනන්තේවාසික අනාචරියක මහණ කෙසේ නම් සුවසේ පහසු ලෙස වෙසේ ද යත්: මහණෙනි, මෙහි ඇසින් රූ දැක ඔහුට සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල්දහම්හු නූපදීද්ද, ඒ කෙලෙස්හු ඔහු අතැවැසි නො වෙත්, ලාමක අකුසල්දහම්හු ඔහු අතැවැසි නො වෙත් නු යි එහෙයින් අනන්තේවාසික යයි කියනු ලැබේ. ඒ කෙලෙස්හු ඔහු ශික්ෂණ නො කෙරෙති. ලාමක අකුසල්දහම්හු ඔහු ශික්ෂණ නො කෙරෙත් නු යි මෙසේ අනාචරියක යයි කියනු ලැබේ.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: කනින් සද අසා මහණහට ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැසැ ... මහණෙනි, නැවත අනෙකක් ද (කියමි:) සිතින් දහම් දැන මහණහට සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල්දහම්හු නූපදිද් ද ඒ අකුසල්හු ඔහු අතැවැසි නො වෙත්. ලාමක අකුසල්දහම්හු ඔහු අතැවැසි නො වෙත් නු යි මෙසේ අනන්තේවාසික යයි කියනු ලැබේ. ඒ කෙලෙස්හු ඔහු නො මඩිත් ලාමක අකුසල්දහම්හු ඔහු නො මඩිත් නු යි. එසේ අනාචරියක යයි කියනු ලැබේ.
මහණෙනි, මෙසේ අනන්තේවාසික අනාචරියක මහණ සුවසේ පහසු ලෙස වෙසෙයි. මහණෙනි, අනන්තේවාසික අනාචරියකවැ මේ බඹසර වෙසේ. මහණෙනි, සාන්තේවාසික සාචරියක මහණ දුකසේ නො පහසු ලෙස වෙසේ. මහණෙනි, අනන්තේවාසික අනාචරියක මහණ සුවසේ පහසු ලෙස වෙසේ යි.
1. 15. 7.
කිමත්ථිය සූත්රය
152. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණගොයුම්හු කෙරෙහි බඹසර වසනු ලැබේ දැ?” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට “ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ ය”යි මෙසේ පවසවු. මහණෙනි, ඉදින් ඒ අන්තොටුපිරිවැජ්ජෝ ඇවැත්නි, යමක් පිරිසිඳ දැනීම පිණිස මහණගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ නම් ඒ දුක කවරේ දැ? යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මෙසේ හෙළිකරවු.