1. 14. 3.
සගය්හ සූත්රය
136. මහණෙනි, දෙවිමිනිස්සු රූපයෙහි ඇලුම් ඇත්තාහු රූපයෙහි ඇලුණාහු රූපයෙහි සතුටු වූවාහු වෙති. මහණෙනි, දෙවිමිනිස්සු රූපයෙහි වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්. සදෙහි ඇලුම් ඇත්තාහු ... ගඳෙහි ඇලුම් ඇත්තාහු ... රසෙහි ඇලුම් ඇත්තාහු ... පහස්හි ඇලුම් ඇත්තාහු ... මහණෙනි, දෙවිමිනිස්සු දහම් අරමුණෙහි ඇලුම් ඇත්තාහු දහම්හි ඇලුණාහු දහම්හි සතුටු වූවාහු වෙත්. මහණෙනි, දෙවිමිනිස්සු දහම්හි වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්.
මහණෙනි, අර්හත් සම්මාසම්බුද්ධ වූ තථාගත තෙමේ රූපයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන රූපයෙහි ඇලුම් නැත්තේ රූපයෙහි නො ඇලුණේ රූපයෙහි සතුටු නුවූයේ වෙයි. මහණෙනි, තථාගත තෙමේ රූපයන්ගේ වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් සුව ඇති ව වෙසෙයි. ශබ්දයන්ගේ ... ගන්ධයන්ගේ ... රසයන්ගේ ... ස්ප්රෂ්ටව්යයන්ගේ ... ධර්මයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන දහම් අරමුණෙහි ඇලුම් නැත්තේ දහම්හි නො ඇලුණේ දහම්හි සතුටු නුවූයේ වෙයි. මහණෙනි, තථාගත තෙමේ ධර්මයන්ගේ වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් සුව ඇති ව වෙසෙයි. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙසේ පවසා යළි මතු ද මෙය වදාළ සේක:
ඉටු කැමති මනවඩන සියලු රූ සද ගඳ පහස් දහම්හු යම් තාක් ඇතැ යි කියනු ලැබේ ද,
දෙවියන් සහිත ලෝවැස්සා විසින් මොහු සුව යයි සම්මතයහ. යම් තැනෙක මොහු නිරුද්ධ වෙද්ද එය ඔවුන් විසින් දුක් යයි සම්මත ය.
සක්කායයාගේ වැලැක්ම සුව යයි ආර්ය්යන් විසින් දක්නා ලදි. දක්නවුන්ගේ මෙය (නුවණැත්තන්ගේ මේ දර්ශනය) මුළුලෝකයා හා විරුද්ධ වේ.
අන්හු යම්ක් සුව විසින් කියද්ද ආර්ය්යයෝ එය දුක් විසින් කියත්. අන්හු යමක් දුක් විසින් කියද්ද ආර්ය්යයෝ එය සුව විසින් දනිත්.
දැනීමට දුෂ්කර වූ දහම දකිවු. මෙහි ලා නුවණ නැත්තේ මුළා වූයේ වෙයි. කෙලෙසුන්ගෙන් වැසුණු නොදක්නවුන්ට (ඒ දහම) ගනඳුරෙක් වෙයි.
දක්නා සත්පුරුෂයන්ට එළියක් මෙන් විවර වූයේ වෙයි. දහම්හි අදක්ෂ වූ (ඒ) මෘගයෝ ළඟ වූ ද (ඒ දහම) නො දනිත්.
භවරාගයෙන් මැඩුණු භවස්රෝතස අනුව යන මාරධෙය යි කියන ලද සසරවට පැමිණියවුන් විසින් මේ දහම සුවසේ අවබෝධ කට හැක්කේ නො වෙයි.
යම් නිර්වාණ පදයක් මනානුවණින් දැන කෙලෙස් රහිත ව පිරිනිවෙද්ද ඒ නිවන්පදය අවබෝධ කරන්නට රහතුන් හැර අන් කවරෙක් සුදුසු වේ දැ යි.