14. දේවදහ වර්‍ගය
1. 14. 1.
දේවදහ සූත්‍රය
134. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි ශාක්‍යයන්ගේ දේවදහ නම් නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මම සියලු භික්‍ෂූන් විසින් ම ස්පර්‍ශායතන සයෙහි නොපමාව කටයුතු ය යි නො කියමි. මහණෙනි, මම සියලු භික්‍ෂූන් විසින් ම ස්පර්‍ශායතන සයෙහි නො පමාව නො කට යුතු ය යි ද නො කියමි.
මහණෙනි, රහත් වූ ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ (රහත්ඵල) ය ඇති ක්‍ෂය කළ බවබැඳුම් ඇති, මැනවින් දැන මිදුණු යම් ඒ භික්‍ෂූහු වෙත් නම් මහණෙනි, මම ඒ භික්‍ෂූන් විසින් ස්පර්‍ශායතන සයෙහි නො පමාව කටයුතු ය යි නො කියමි. ඒ කවර හෙයින යත්: ඔවුන් විසින් නො පමාව කරන ලදි. ඔහු පමා වන්නට නුසුදුස්සෝ ය.
මහණෙනි, යම් ඒ භික්‍ෂූහු ශෛක්‍ෂ වූවාහු නො පැමිණි රහත් බැව් ඇත්තාහු අනුත්තර වූ නිවන පතමින් වෙසෙද්ද, මහණෙනි, මම ඒ භික්‍ෂූන් විසින් ස්පර්‍ශායතන සයෙහි නො පමාව කටයුතු ය යි කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද ඇසින් දතයුතු රූපයෝ ඇතියහ. ඔහු ඔහුගේ සිත පැහැස පැහැස හාත්පසින් අල්ලා ගෙන නො සිටිත්. සිත හාත්පසින් අල්ලා නො ගැනීමෙන් වෙර අරඹන ලද්දේ නො හැකුළුණේ වෙයි. සිහිය එළඹ සිටියා ය. නො මුළා වූවා ය. කය සන්හිඳුණේ ය. දාහ රහිත ය, සිත සමාධිගත ය. එකඟ ය. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දක්නෙම් ඒ භික්‍ෂූන් විසින් ස්පර්‍ශායතන සයෙහි නො පමාව කටයුතු යයි කියමි.
මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද කනින් දතයුතු ශබ්දයෝ ඇතියහ ... මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ ඇතියහ ... මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද දිවෙන් දතයුතු රසයෝ ඇතියහ. ... මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද කයින් දතයුතු පහස්හු ඇතියහ ... මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද සිතින් දතයුතු දහම්හු ඇතියහ. ඔහු ඔහුගේ සිත පැහැස පැහැස හාත්පසින් අල්ලාගෙන නො සිටිත්. සිත හාත්පසින් අල්ලා නො ගැනීමෙන් වෙර අරඹන ලද්දේ නො හැකුළුණේ වෙයි. සිහිය එළඹ සිටියා ය. නො මුළා වූවා ය. කය සන්හිඳුණේ ය. දාහ රහිත ය. සිත සමාධිගත ය. එකඟ ය. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දක්නෙම් ඒ භික්‍ෂූන් විසින් ස්පර්‍ශායතන සයෙහි නො පමාව කටයුතු ය යි කියමි යි.
1. 14. 2.
ඛණ සූත්‍රය
135. මහණෙනි, තොපට ලාභයෙකි, මහණෙනි, තොපට යහපත් ලැබීමෙකි, බඹසර විසුමට සුදුසු අවස්ථාව තොප විසින් ලබන ලද්දේ ය. මහණෙනි, මවිසින් ඡඵස්සායතනික නම් නිරයයෝ දක්නා ලදහ. එහි ඇසින් යම් කිසි රුවක් දකී නම් අනිටු සැහැවි (ස්වභාව) ඇත්තක් ම දකී. ඉටු සැහැවි ඇත්තක් නො දකී. නො කැමති සැහැවි ඇත්තක් ම දකී. කැමති සැහැවි ඇත්තක් නො දකී. නො මනා සැහැවි ඇත්තක් දකී. කනින් යම්කිසි සදක් අසා නම් ... නැහැයෙන් යම්කිසි ගඳක් ගනී නම් ... දිවෙන් යම්කිසි රසක් විඳී නම් ... කයින් යම්කිසි පහසක් පුසී නම් ... සිතින් යම්කිසි දහමක් දනී නම් අනිටු සැහැවි ඇත්තක් ම දනී. ඉටු සැහැවි ඇත්තක් නො දනී. නො කැමති සැහැවි ඇත්තක් ම දනී. කැමති සැහැවි ඇත්තක් නො දනී. නො මනා සැහැවි ඇත්තක් ම දනී. මනා සැහැවි ඇත්තක් නො දනී.
මහණෙනි, තොපට ලාභයකි, මහණෙනි, තොපට යහපත් ලැබීමෙකි. බඹසර විසුමට තොප විසින් සුදුසු අවස්ථාව ලබන ලද්දේ ය. මහණෙනි, මා විසින් ඡඵස්සායතනික නම් ස්වර්‍ගයෝ දක්නා ලදහ. එහි ඇසින් යම්කිසි රුවක් දකී නම් ඉටු සැහැවි ඇත්තක් ම දකී. අනිටු සැහැවි ඇත්තක් නො දකී. කැමති සැහැවි ඇත්තක් ම දකී. නො කැමති සැහැවි ඇත්තක් නො දකී. මනා සැහැවි ඇත්තක් ම දකී. නො මනා සැහැවි ඇත්තක් නො දකී.
කනින් යම්කිසි සදක් අසා නම් ... නැහැයෙන් යම්කිසි ගඳක් ගනී නම් ... දිවෙන් යම්කිසි රසක් විඳී නම් ... කයින් යම්කිසි පහසක් ඵුසී නම් ... සිතින් යම්කිසි දහමක් දනී නම් ඉටු සැහැවි ඇත්තක් ම දනී. අනිටු සැහැවි ඇත්තක් නොදනී. කැමති සැහැවි ඇත්තක් ම දනී. නො කැමති සැහැවි ඇත්තක් නො දනී. මනා සැහැවි ඇත්තක් ම දනී. නො මනා සැහැවි ඇත්තක් නොදනී. මහණෙනි, තොපට තොපට ලාභයෙකි. මහණෙනි, තොපට යහපත් ලැබීමෙකි. බඹසර විසුමට සුදුසු අවස්ථාව තොප විසින් ලබන ලද්දේ ය යි.
1. 14. 3.
සගය්හ සූත්‍රය
136. මහණෙනි, දෙවිමිනිස්සු රූපයෙහි ඇලුම් ඇත්තාහු රූපයෙහි ඇලුණාහු රූපයෙහි සතුටු වූවාහු වෙති. මහණෙනි, දෙවිමිනිස්සු රූපයෙහි වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්. සදෙහි ඇලුම් ඇත්තාහු ... ගඳෙහි ඇලුම් ඇත්තාහු ... රසෙහි ඇලුම් ඇත්තාහු ... පහස්හි ඇලුම් ඇත්තාහු ... මහණෙනි, දෙවිමිනිස්සු දහම් අරමුණෙහි ඇලුම් ඇත්තාහු දහම්හි ඇලුණාහු දහම්හි සතුටු වූවාහු වෙත්. මහණෙනි, දෙවිමිනිස්සු දහම්හි වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්.