1. 14. 4.
ගය්හ සූත්රය
137. මහණෙනි, දෙවිමිනිස්සු රූපයෙහි ඇලුම් ඇත්තාහු රූපයෙහි ඇලුණාහු රූපයෙහි සතුටු වූවාහු වෙති. මහණෙනි, දෙවිමිනිස්සු රූපයාගේ වෙනස් වීමෙන් නො ඇල්මෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්. ශබ්දයෙහි ඇලුම් ඇත්තාහු ... ගන්ධයෙහි ඇලුම් ඇත්තාහු ... රසයෙහි ඇලුම් ඇත්තාහු ... ස්ප්රෂ්ටව්යයෙහි ඇලුම් ඇත්තාහු ... මහණෙනි, දෙවිමිනිස්සු ධර්මයෙහි ඇලුම් ඇත්තාහු ධර්මයෙහි ඇලුණාහු ධර්මයෙහි සතුටු වූවාහු වෙති. මහණෙනි, දෙවිමිනිස්සු ආරම්මණ ධර්මයන්ගේ වෙනස් වීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්.
මහණෙනි, අර්හත් සම්මාසම්බුද්ධ වූ තථාගත තෙමේ රූපයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන රූපයෙහි ඇලුම් නැත්තේ රූපයෙහි නො ඇලුණේ රූපයෙහි සතුටු නුවූයේ වෙයි. මහණෙනි, තථාගත තෙමේ රූපයන්ගේ වෙනස් වීමෙන් නො ඇල්මෙන් නිරෝධයෙන් සුව ඇති ව වෙසෙයි ... ශබ්දයන්ගේ ... ගන්ධයන්ගේ ... රසයන්ගේ ... ස්ප්රෂ්ටව්යයන්ගේ ... ධර්මයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන ධර්මයෙහි ඇලුම් නැත්තේ ධර්මයෙහි නො ඇලුණේ ධර්මයෙහි සතුටු නුවූයේ වෙයි. මහණෙනි, තථාගත තෙමේ ධර්මයන්ගේ වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් සුව ඇති ව වෙසේ යි.
1. 14. 5.
පලාස සූත්රය
138. මහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි, කිමෙක් තොපගේ නො වේ ද යත්: මහණෙනි, ඇස තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. කන ... නැහැය ... දිව තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. කය තොපගේ නො වෙයි. ... සිත තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
මහණෙනි, යම්සේ මේ ජේතවනයෙහි යම් තණ දැව අතු කොළ වේ ද, ජන තෙමේ එය හරනේ හෝ දවන්නේ හෝ යම් කැමති පරිද්දක් කරන්නේ හෝ වේ ද, ජන තෙමේ අප ගෙන ය යි හෝ දවයි හෝ යම් කැමති පරිද්දක් කරයි හෝ යි තොපට මෙබඳු සිතෙක් වන්නේ දැ යි. වහන්ස මෙය නො වේ ම ය. ඒ කවර හෙයින් ද? වහන්ස, මෙය අපගේ ආත්මය (තමා) හෝ ආත්මීය (තමා පිළිබඳ දැයෙක්) හෝ නො වේ (එහෙයිනි) යි. මහණෙනි, එසෙයින්ම ඇස තොපගේ නො වේ. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. කන ... නැහැය ... දිව ... කය ... සිත තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ යි.
1. 14. 6.
දුතිය පලාස සූත්රය
139. මහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි, කිමෙක් තොපගේ නො වේ ද යත්: මහණෙනි, රූ තොපගේ නො වෙයි. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. සද ... ගඳ ... රස ... පහස් ... දහම් තොපගේ නො වෙයි. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
මහණෙනි, යම්සේ මේ ජේතවනයෙහි යම් තණ දැව අතු කොළ වේ ද, ජනයා එය හරනේ හෝ දවන්නේ හෝ යම් කැමති පරිද්දක් කරන්නේ හෝ වේ ද, ජනයා අප ගෙන යයි හෝ දවයි හෝ යම් කැමති පරිද්දක් කරයි හෝ යි තොපට මෙබඳු සිතෙක් වන්නේ දැ යි. වහන්ස මෙය නො වේ ම ය. ඒ කවර හෙයින් ද? වහන්ස, මෙය අපට ආත්ම (තමා) හෝ ආත්මීය (තමා ගේ දැයෙක්) හෝ නො වේ (එහෙයිනි) යි. මහණෙනි, එසෙයින්ම රූ තොපගේ නො වේ. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. සද ... ගඳ ... රස ... පහස් ... දහම් තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ යි.
1. 14. 7.
අජ්ඣත්ත අනිච්ච සූත්රය
140. මහණෙනි, ඇස අනිත්ය ය. ඇස හටගැනීමට යමකුත් හේතු වේ නම් යමකුත් ප්රත්යය වේ නම් ඒද අනිත්ය ය. මහණෙනි, අනිත්ය හේතුවෙන් හටගත් ඇස කවර හෙයින් නිත්ය වන්නේ ද? කන ... නැහැය ... දිව අනිත්ය ය. දිව හටගැන්මට යමකුත් හේතු වේ නම් යමකුත් ප්රත්යය වේ නම් හෙ ද අනිත්ය ය. මහණෙනි, අනිත්ය හෙයින් හටගත් දිව කවර හෙයින් නිත්ය වන්නේ ද? කය ... සිත අනිත්ය ය. සිත හටගැන්මට යමකුත් හේතු වේ නම් යමකුත් ප්රත්යය වේ නම් හෙ ද අනිත්ය ය. මහණෙනි, අනිත්ය හේතුවෙන් හටගත් සිත කවර හෙයින් නිත්ය වන්නේ ද?
මහණෙනි, මෙසේ දක්නා උගත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි. කනෙහිත් ... නැහැයෙහිත් ... දිවෙහිත් ... කයෙහිත් ... සිතෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කට යුතු කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.