1. 14. 2.
ඛණ සූත්‍රය
135. මහණෙනි, තොපට ලාභයෙකි, මහණෙනි, තොපට යහපත් ලැබීමෙකි, බඹසර විසුමට සුදුසු අවස්ථාව තොප විසින් ලබන ලද්දේ ය. මහණෙනි, මවිසින් ඡඵස්සායතනික නම් නිරයයෝ දක්නා ලදහ. එහි ඇසින් යම් කිසි රුවක් දකී නම් අනිටු සැහැවි (ස්වභාව) ඇත්තක් ම දකී. ඉටු සැහැවි ඇත්තක් නො දකී. නො කැමති සැහැවි ඇත්තක් ම දකී. කැමති සැහැවි ඇත්තක් නො දකී. නො මනා සැහැවි ඇත්තක් දකී. කනින් යම්කිසි සදක් අසා නම් ... නැහැයෙන් යම්කිසි ගඳක් ගනී නම් ... දිවෙන් යම්කිසි රසක් විඳී නම් ... කයින් යම්කිසි පහසක් පුසී නම් ... සිතින් යම්කිසි දහමක් දනී නම් අනිටු සැහැවි ඇත්තක් ම දනී. ඉටු සැහැවි ඇත්තක් නො දනී. නො කැමති සැහැවි ඇත්තක් ම දනී. කැමති සැහැවි ඇත්තක් නො දනී. නො මනා සැහැවි ඇත්තක් ම දනී. මනා සැහැවි ඇත්තක් නො දනී.
මහණෙනි, තොපට ලාභයකි, මහණෙනි, තොපට යහපත් ලැබීමෙකි. බඹසර විසුමට තොප විසින් සුදුසු අවස්ථාව ලබන ලද්දේ ය. මහණෙනි, මා විසින් ඡඵස්සායතනික නම් ස්වර්‍ගයෝ දක්නා ලදහ. එහි ඇසින් යම්කිසි රුවක් දකී නම් ඉටු සැහැවි ඇත්තක් ම දකී. අනිටු සැහැවි ඇත්තක් නො දකී. කැමති සැහැවි ඇත්තක් ම දකී. නො කැමති සැහැවි ඇත්තක් නො දකී. මනා සැහැවි ඇත්තක් ම දකී. නො මනා සැහැවි ඇත්තක් නො දකී.
කනින් යම්කිසි සදක් අසා නම් ... නැහැයෙන් යම්කිසි ගඳක් ගනී නම් ... දිවෙන් යම්කිසි රසක් විඳී නම් ... කයින් යම්කිසි පහසක් ඵුසී නම් ... සිතින් යම්කිසි දහමක් දනී නම් ඉටු සැහැවි ඇත්තක් ම දනී. අනිටු සැහැවි ඇත්තක් නොදනී. කැමති සැහැවි ඇත්තක් ම දනී. නො කැමති සැහැවි ඇත්තක් නො දනී. මනා සැහැවි ඇත්තක් ම දනී. නො මනා සැහැවි ඇත්තක් නොදනී. මහණෙනි, තොපට තොපට ලාභයෙකි. මහණෙනි, තොපට යහපත් ලැබීමෙකි. බඹසර විසුමට සුදුසු අවස්ථාව තොප විසින් ලබන ලද්දේ ය යි.
1. 14. 3.
සගය්හ සූත්‍රය
136. මහණෙනි, දෙවිමිනිස්සු රූපයෙහි ඇලුම් ඇත්තාහු රූපයෙහි ඇලුණාහු රූපයෙහි සතුටු වූවාහු වෙති. මහණෙනි, දෙවිමිනිස්සු රූපයෙහි වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්. සදෙහි ඇලුම් ඇත්තාහු ... ගඳෙහි ඇලුම් ඇත්තාහු ... රසෙහි ඇලුම් ඇත්තාහු ... පහස්හි ඇලුම් ඇත්තාහු ... මහණෙනි, දෙවිමිනිස්සු දහම් අරමුණෙහි ඇලුම් ඇත්තාහු දහම්හි ඇලුණාහු දහම්හි සතුටු වූවාහු වෙත්. මහණෙනි, දෙවිමිනිස්සු දහම්හි වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්.
මහණෙනි, අර්‍හත් සම්මාසම්බුද්ධ වූ තථාගත තෙමේ රූපයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන රූපයෙහි ඇලුම් නැත්තේ රූපයෙහි නො ඇලුණේ රූපයෙහි සතුටු නුවූයේ වෙයි. මහණෙනි, තථාගත තෙමේ රූපයන්ගේ වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් සුව ඇති ව වෙසෙයි. ශබ්දයන්ගේ ... ගන්‍ධයන්ගේ ... රසයන්ගේ ... ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ ... ධර්‍මයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන දහම් අරමුණෙහි ඇලුම් නැත්තේ දහම්හි නො ඇලුණේ දහම්හි සතුටු නුවූයේ වෙයි. මහණෙනි, තථාගත තෙමේ ධර්‍මයන්ගේ වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් සුව ඇති ව වෙසෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙසේ පවසා යළි මතු ද මෙය වදාළ සේක:
ඉටු කැමති මනවඩන සියලු රූ සද ගඳ පහස් දහම්හු යම් තාක් ඇතැ යි කියනු ලැබේ ද,
දෙවියන් සහිත ලෝවැස්සා විසින් මොහු සුව යයි සම්මතයහ. යම් තැනෙක මොහු නිරුද්ධ වෙද්ද එය ඔවුන් විසින් දුක් යයි සම්මත ය.
සක්කායයාගේ වැලැක්ම සුව යයි ආර්‍ය්‍යන් විසින් දක්නා ලදි. දක්නවුන්ගේ මෙය (නුවණැත්තන්ගේ මේ දර්‍ශනය) මුළුලෝකයා හා විරුද්ධ වේ.
අන්හු යම්ක් සුව විසින් කියද්ද ආර්‍ය්‍යයෝ එය දුක් විසින් කියත්. අන්හු යමක් දුක් විසින් කියද්ද ආර්‍ය්‍යයෝ එය සුව විසින් දනිත්.
දැනීමට දුෂ්කර වූ දහම දකිවු. මෙහි ලා නුවණ නැත්තේ මුළා වූයේ වෙයි. කෙලෙසුන්ගෙන් වැසුණු නොදක්නවුන්ට (ඒ දහම) ගනඳුරෙක් වෙයි.
දක්නා සත්පුරුෂයන්ට එළියක් මෙන් විවර වූයේ වෙයි. දහම්හි අදක්‍ෂ වූ (ඒ) මෘගයෝ ළඟ වූ ද (ඒ දහම) නො දනිත්.
භවරාගයෙන් මැඩුණු භවස්‍රෝතස අනුව යන මාරධෙය යි කියන ලද සසරවට පැමිණියවුන් විසින් මේ දහම සුවසේ අවබෝධ කට හැක්කේ නො වෙයි.
යම් නිර්‍වාණ පදයක් මනානුවණින් දැන කෙලෙස් රහිත ව පිරිනිවෙද්ද ඒ නිවන්පදය අවබෝධ කරන්නට රහතුන් හැර අන් කවරෙක් සුදුසු වේ දැ යි.