1. 13. 9.
ලෝහිච්ච සූත්‍රය
132. එක්කලෙක ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි මක්කරකට නුවර වනකිළියෙක වැඩවෙසෙති. එකල්හි ලෝහිච්ච බමුණාගේ අතැවැසි වූ දර ගෙන යන බොහෝ වූ මාණවකයෝ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ගේ වනකිළිය වෙත එළඹියහ. එළඹ කිසියම් කිසියම් ක්‍රීඩා කරන්නාහු “මොහු මුඬුවෝය. නින්‍දිත මහණෝ ය. ගැහැවියෝ ය. කෘෂ්ණයෝ ය, බඹහු පිටිපත්ලෙන් උපන්නෝ ය, මේ භරතකයන් හෙවත් කෙළෙඹියන් විසින් සත්කාර කරන ලද්දාහු ගරු කරන ලද්දාහු බුහුමන් කරන ලද්දාහු පුදන ලද්දාහු යටත් පහත් පැවතුම් දක්වන ලද්දාහු ය” යි උස්හඬ මහහඬ ඇත්තාහු කිළිය අවට නැවත නැවත සක්මන් කෙරෙත්, සිසාරා යෙත්.
එකල්හි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ වෙහෙරින් නික්ම ඒ මාණවකයන්ට මෙය වදාළහ: මාණවකයෙනි, “තෙපි නහමක් ශබ්ද කරවු. තොපට දහම් දෙසන්නෙමි” යි. මෙසේ වදාළ කල්හි ඒ මණෙව්වෝ නිහඬ වූහ. එකල්හි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ ඒ මණෙව්වන්ට ගාථායෙන් වදාළහ:
යම් කෙනෙක් පැරණි බමුණු දහම සිහි කෙරෙද්ද, ඉතා පැරණි ඒ බමුණෝ ශීලය උතුම් කොට ඇත්තෝ වූහ. ක්‍රෝධය මැඬලා සිටි ඔවුන්ගේ (චක්‍ෂුරාදි) ද්වාරයෝ ගෝපනය කරන ලද්දාහු මැනවින් රක්නා ලද්දාහු වූහ.
යම් කෙනෙක් පැරණි බමුණු දහම සිහි කෙරෙද්ද එබමුණෝ (දසකුශලකර්‍මපථ) දහම්හි ද (අටසමවත්) දහම්හි ද ඇලුණෝ වූහ. මොහු වූකලී ඒ ගුණවලින් ඉවත්ව (අපි) ජප කෙරෙමු යි කුලයෙන් මත් වූවෝ ක්‍රෝධයෙන් මඬනා ලද්දෝ ගන්නා ලද නොයෙක් දඬු ඇත්තෝ තැතිගන්නා (නො රහත්) නොතැතිගන්නා (රහත්) සත්ත්‍වයන් කෙරෙහි වරද කරන්නෝ විෂම වූ කායකර්‍මාදිය කෙරෙත්.
නොරක්නා ලද ඉඳුරන් ඇත්තහුගේ (ව්‍රතසමාදානයෝ) පුරිස්හට සිහිනෙන් ලත් ධනයක් මෙන් සිස් වෙත්. (දැන් බමුණෝ) එක් දින දෙදින උපවාස කරන්නාහු නිල්කුසතණ අතුළ බිම හෝනාහු උදෑසන දියට බැස නහන්නාහු (වෙති) වේදත්‍රය ද රළු අඳුන් දිවිසම ද දළමඬුලු ද දත්මල ද තපෝමන්ත්‍ර ද අජව්‍රත ගෝව්‍රතාදි ශීලව්‍රත ද (මේ මෙ කල බමුණන්ගේ තපසි) කොහොන්බව ද වක්දඬු ද දියෙන් මුව පිරිමැදුම ද යන මොහු බමුණන් විසින් කිසියම් ආමිසයක් වැඩීම පිණිස කරන ලද ආකල්පයෝ වෙත්.
(පැරණි බමුණන්ගේ) සිත උපචාර අර්‍පණ වශයෙන් මැනවින් සමාධිගත ය. වෙසෙසින් පහන් ය. නොකැලඹුණේ ය. සියලු සතුන් කෙරෙහි මොළොක් ය. සෙටබවට පැමිණීමේ මග ය. (කිම තෙපි බමුණු වහුදැ යි)
ඉක්බිති ඒ මණෙව්වෝ කිපියාහු නොසතුටු සිත් ඇත්තාහු ලෝහිච්ච බමුණු වෙත එළඹියාහු ය. එළඹ ලෝහිච්ච බමුණාට මෙය කීහ; කිම භවත් දන්නේ ද? මහාකච්චාන මහණ බමුණන්ගේ මන්ත්‍රයනට ඒකාන්තයෙන් නින්‍දා කෙරෙයි, දොස් පහළ කෙරෙයි.
මෙසේ කී කල්හි ලෝහිච්ච බමුණු කිපියේ නො සතුටු සිත් ඇත්තේ වි ය. එකල්හි ලෝහිච්ච බමුණුහට මෙබඳු සිතෙක් වි ය: යම්බඳු මම මණෙව්වන්ගෙන් පමණක් අසා මහාකච්චාන මහණහට දොස් නගන්නෙම් නම් පරිභව කරන්නෙම් නම් මෙය මට ඒකාන්තයෙන් සුදුසු නො වේ. මම එළඹ පුළුවුස්නෙම් නම් මැනවැ යි.
ඉක්බිති ලෝහිච්ච බමුණු ඒ මණෙව්වන් සමඟ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ලෝහිච්ච බමුණු ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට මෙය කී ය:
භවත් කච්චානයෙනි, අපගේ අතැවැසි වූ දර ගෙන යන බොහෝ වූ මණෙව්වෝ මෙහි ආවාහු දැ? යි. බමුණ, තොපගේ අතැවැසි වූ දර ගෙන යන බොහෝ වූ මණෙව්වෝ මෙහි ආවාහු ය යි. ඒ මණෙව්වන් සමග භවත් කච්චානයන්ගේ කිසියම් කථාසල්ලාපයෙක් වී දැ?යි. බමුණ, ඒ මණෙව්වන් සමග මාගේ කිසියම් කථාසල්ලාපයෙක් වී ය යි. ඒ කෙසේ නම් ඒ මණෙව්වන් සමග භවත් කච්චානයන්ගේ කථාසල්ලාපය වී දැයි. බමුණ, ඒ මණෙව්වන් සමග මාගේ කථාසල්ලාපය මෙසේ වී ය;