13. ගහපති වර්ගය
1. 13. 1.
වේසාලි සූත්රය
124. එක්කලෙක භාග්යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩවසන සේක. එකල්හි විසල්පුර වැසි උග්ග ගැහැවි භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත් පස් ව හුන් විසල්පුර වැසි උග්ග ගැහැවි භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්රත්යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්රත්යය කිමැ? යි.
ගැහැවිය, ඉටු කැමති මන වඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවි, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි.
ගැහැවි, කනින් දතයුතු සද ඇත. ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... ගැහැවි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවි, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. ගැහැවි, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්රත්යය යි.
ගැහැවි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන, ගුණ නො කියන, ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වෙයි. ගැහැවි, උපාදාන රහිත මහණ පිරිනිවෙයි.
ගැහැවි, කනින් දතයුතු ශබ්ද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... ගැහැවි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද එය නො පතන, ගුණ නො කියන, ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වෙයි. ගැහැවි, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. ගැහැවි, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි. මේ ප්රත්ය ය යි.
1. 13. 2.
වජ්ජී සූත්රය
125. එක්කලෙක භාග්යවතුන් වහන්සේ වජ්ජි දනව්වෙහි හත්ථිගම්හි වැඩවසන සේක. එකල්හි හත්ථිගම්වැසි උග්ග ගැහැවි භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් හත්ථි ගම් වැසි උග්ග ගැහැවි භාග්යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්රත්යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්රත්යය කිම? (පළමු සුතුර මෙන් විතර කටයුතු) ... ගැහැවි, යම් හෙයකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි. මේ ප්රත්යය යි.
1. 13. 3.
නාලන්දා සූත්රය
126. එක්කලෙක භාග්යවතුන් වහන්සේ නාලන්දා නුවර පාවාරික අඹවෙනෙහි වැඩවසන සේක. එකල්හි උපාලි ගැහැවි භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් උපාලි ගැහැවි භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්රත්යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්රත්යය කිමැ යි. (විතර කට යුතු) ... ගැහැවි යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්රත්යය යි.
1. 13. 4.
භාරද්වාජ සූත්රය
127. එක්කලෙක ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි උදේන රජ ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් සමග සතුටු වී ය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් උදේන රජ ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන්ට මෙය සැලකෙළේ ය:
භවත් භාරද්වාජයෙනි, තරුණ වූ මනාකළුකෙහෙ ඇති සොඳුරු යොවුනෙන් හා පළමුවන වයසින් යුතු කම්සැප අනුභව නොකළ විරූ මේ තරුණ භික්ෂූහු යම්හෙයෙකින් දිවිහිමියෙන් පිරිපුන් පිරිසිදු බඹසර වෙසෙත් නම් දිගුකලක් නො සිඳ පවත්වත් නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්රත්යය දැ යි.