1. 13. 8.
නකුලපිතු සූත්රය
131. එක්කලෙක භාග්යවතුන් වහන්සේ භග්ග දනව්වෙහි සුංසුමාරගිර නුවර මිගදාය වූ භේසකලා වනයෙහි වැඩවසන සේක. එකල්හි නකුලපිය ගැහැවි භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් නකුලපිය ගැහැවි භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම ප්රත්යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම ප්රත්යය කිමැ? යි.
ගැහැවිය, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවිය, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි.
ගැහැවිය, කනින් දතයුතු සද ඇත. ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... ගැහැවිය, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවිය, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. ගැහැවිය, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්රත්යය යි.
ගැහැවිය, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වේ. ගැහැවිය, උපාදාන රහිත මහණ පිරිනිවෙයි.
ගැහැවිය, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දතයුතු පහස් ... ගැහැවිය ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ සිත එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වේ. ගැහැවිය උපාදාන රහිත මහණ පිරිනිවෙයි. ගැහැවිය යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි, මේ ප්රත්යය යි.
1. 13. 9.
ලෝහිච්ච සූත්රය
132. එක්කලෙක ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි මක්කරකට නුවර වනකිළියෙක වැඩවෙසෙති. එකල්හි ලෝහිච්ච බමුණාගේ අතැවැසි වූ දර ගෙන යන බොහෝ වූ මාණවකයෝ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ගේ වනකිළිය වෙත එළඹියහ. එළඹ කිසියම් කිසියම් ක්රීඩා කරන්නාහු “මොහු මුඬුවෝය. නින්දිත මහණෝ ය. ගැහැවියෝ ය. කෘෂ්ණයෝ ය, බඹහු පිටිපත්ලෙන් උපන්නෝ ය, මේ භරතකයන් හෙවත් කෙළෙඹියන් විසින් සත්කාර කරන ලද්දාහු ගරු කරන ලද්දාහු බුහුමන් කරන ලද්දාහු පුදන ලද්දාහු යටත් පහත් පැවතුම් දක්වන ලද්දාහු ය” යි උස්හඬ මහහඬ ඇත්තාහු කිළිය අවට නැවත නැවත සක්මන් කෙරෙත්, සිසාරා යෙත්.
එකල්හි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ වෙහෙරින් නික්ම ඒ මාණවකයන්ට මෙය වදාළහ: මාණවකයෙනි, “තෙපි නහමක් ශබ්ද කරවු. තොපට දහම් දෙසන්නෙමි” යි. මෙසේ වදාළ කල්හි ඒ මණෙව්වෝ නිහඬ වූහ. එකල්හි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ ඒ මණෙව්වන්ට ගාථායෙන් වදාළහ:
යම් කෙනෙක් පැරණි බමුණු දහම සිහි කෙරෙද්ද, ඉතා පැරණි ඒ බමුණෝ ශීලය උතුම් කොට ඇත්තෝ වූහ. ක්රෝධය මැඬලා සිටි ඔවුන්ගේ (චක්ෂුරාදි) ද්වාරයෝ ගෝපනය කරන ලද්දාහු මැනවින් රක්නා ලද්දාහු වූහ.