1. 13. 7.
හාලිද්දිකානි සූත්රය
130. එක්කලෙක ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි කුරරඝරයෙහි පවත්ත පව්වෙහි වැඩවෙසෙති. එකල්හි හාලිද්දකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් හාලිද්දකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට මෙය සැලකෙළේ ය: වහන්ස, “ධාතුනානාත්වය නිසා ස්පර්ශනානාත්වය උපදී, ස්පර්ශනානාත්වය නිසා වේදනානානාත්වය උපදීය” යි මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, කෙසේ නම් ධාතුනානාත්වය නිසා ස්පර්ශනානාත්වය උපදී ද? ස්පර්ශනානාත්වය නිසා වේදනානානාත්වය උපදී දැ?යි.
ගැහැවිය, මෙහි මහණ ඇසින් රුවක් දැක මෙසේ මෙය මනවඩන්නේ ය යි දැනගනී. චක්ඛුවිඤ්ඤාණය ද සුවවේදනාවට කරුණු වූ ස්පර්ශය ද නිසා සුවවේදනාව උපදී. යළි ඇසින් රූපයක් දැක මෙසේ මෙය මන නො වඩනේය යි දැනගනී. චක්ඛුවිඤ්ඤාණය ද දුක්වේදනාවට කරුණු වූ ස්පර්ශය ද නිසා දුක්වේදනාව උපදී. යළි ඇසින් රූපයක් දැක
මෙසේ මේ මැදහත් බවට කරුණුය යි දැනගනී. චක්ඛුවිඤ්ඤාණය ද නොදුක්නොසුව වේදනාවට කරුණු වූ ස්පර්ශය ද නිසා නොදුක්නොසුව වේදනාව උපදී.
ගැහැවිය, නැවත අනෙකක් ද කියමි. මහණ කනින් සදක් අසා ... නැහැයෙන් ගඳක් ගෙන ... දිවෙන් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... සිතින් දහමක් දැන මෙසේ මෙය මන වඩනේ ය යි දැනගනී. මනෝවිඤ්ඤාණයත් සුවවේදනාවට කරුණු වූ ස්පර්ශයත් නිසා සුවවේදනාව උපදී. යළි සිතින් දහමක් දැන මෙසේ මෙය මන නොවඩනේ ය යි දැනගනී. මනෝවිඤ්ඤාණයත් දුක්වේදනාවට කරුණු වූ ස්පර්ශයත් නිසා දුක්වේදනාව උපදී. යළි සිතින් දහමක් දැන මෙසේ මෙය මැදහත්බවට කරුණුය යි දැනගනී. මනෝවිඤ්ඤාණයත් නොදුක්නොසුව වේදනාවට කරුණු වූ ස්පර්ශයත් නිසා නොදුක්නොසුව වේදනාව උපදී. ගැහැවිය, මෙසේ ධාතුනානාත්වය නිසා ස්පර්ශනානාත්වය උපදී. ස්පර්ශනානාත්වය නිසා වේදනානානාත්වය උපදී යි.
1. 13. 8.
නකුලපිතු සූත්රය
131. එක්කලෙක භාග්යවතුන් වහන්සේ භග්ග දනව්වෙහි සුංසුමාරගිර නුවර මිගදාය වූ භේසකලා වනයෙහි වැඩවසන සේක. එකල්හි නකුලපිය ගැහැවි භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් නකුලපිය ගැහැවි භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම ප්රත්යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම ප්රත්යය කිමැ? යි.
ගැහැවිය, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවිය, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි.
ගැහැවිය, කනින් දතයුතු සද ඇත. ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... ගැහැවිය, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවිය, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. ගැහැවිය, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්රත්යය යි.