1. 13. 6.
ඝෝසිත සූත්රය
129. එක්කලෙක ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ඝෝසිත ගැහැවි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් ඝෝසිත ගැහැවි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට මෙය සැලකෙළේ ය. වහන්ස, ආනන්දයෙනි, “ධාතුනානාත්වය ධාතුනානාත්වය” යි කියනු ලැබේ. වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් කොපමණෙකින් “ධාතුනානාත්වය” වදාරන ලද්දේ දැ යි.
ගැහැවිය, චක්ඛුධාතුව ද මනවඩන රූප ද චක්ඛුවිඤ්ඤාණය ද ඇත. සුවවේදනාවට කරුණු වූ පහස නිසා සුවවේදනාව උපදී. ගැහැවිය, චක්ඛුධාතුව ද මනවඩන රූප ද චක්ඛුවිඤ්ඤාණය ද ඇත. දුක්වේදනාවට කරුණු වූ පහස නිසා දුක්වේදනාව උපදී. ගැහැවිය, චක්ඛුධාතුව ද උපේක්ෂාවට කරුණු වූ රූප ද චක්ඛුවිඤ්ඤාණය ද ඇත. නොදුක්නොසුව වේදනාවට කරුණු වූ පහස නිසා නොදුක්නොසුව වේදනාව උපදී.
ගැහැවිය, සෝතධාතුව ඇත ... ගැහැවිය, ඝානධාතුව ඇත ... ගැහැවිය, ජිව්හාධාතුව ද මනවඩන රස ද ජිව්හාවිඤ්ඤාණය ද ඇත. සුවවේදනාවට කරුණු වූ පහස නිසා සුවවේදනාව උපදී. ගැහැවිය, ජිව්හාධාතුව ද මන නොවඩන රස ද ජිව්හාවිඤ්ඤාණය ද ඇත. දුක්වේදනාවට කරුණු වූ පහස නිසා දුක්වේදනාව උපදී. ගැහැවිය, ජිව්හාධාතුව ද මැදහත්බවට කරුණු වූ රස ද ජිව්හාවිඤ්ඤාණය ද ඇත. නොදුක්නොසුව වේදනාවට කරුණු වූ පහස නිසා නොදුක්නොසුව වේදනාව උපදී.
ගැහැවිය, කායධාතුව ඇත ... ගැහැවිය, මනෝධාතුව ද මනවඩන දහම් ද මනෝවිඤ්ඤාණය ද ඇත. සුවවේදනාවට කරුණු වූ පහස නිසා සුවවේදනාව උපදී. ගැහැවිය, මනෝධාතුවත් මනනොවඩන දහමුත් මනෝවිඤ්ඤාණයත් ඇත. දුක්වේදනාවට කරුණු වූ පහස නිසා දුක්වේදනාව උපදී. ගැහැවිය, මනෝධාතුවත් මැදහත් බවට කරුණු වූ දහමුත් මනෝවිඤ්ඤාණයත් ඇත. නොදුක්නොසුව වේදනාවට කරුණු වූ පහස නිසා නොදුක්නොසුව වේදනාව උපදී. ගැහැවිය, මෙතෙකින් භාග්යවතුන් වහන්සේ විසින් ධාතුනානාත්වය වදාරන ලදී යි.
1. 13. 7.
හාලිද්දිකානි සූත්රය
130. එක්කලෙක ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි කුරරඝරයෙහි පවත්ත පව්වෙහි වැඩවෙසෙති. එකල්හි හාලිද්දකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් හාලිද්දකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට මෙය සැලකෙළේ ය: වහන්ස, “ධාතුනානාත්වය නිසා ස්පර්ශනානාත්වය උපදී, ස්පර්ශනානාත්වය නිසා වේදනානානාත්වය උපදීය” යි මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, කෙසේ නම් ධාතුනානාත්වය නිසා ස්පර්ශනානාත්වය උපදී ද? ස්පර්ශනානාත්වය නිසා වේදනානානාත්වය උපදී දැ?යි.
ගැහැවිය, මෙහි මහණ ඇසින් රුවක් දැක මෙසේ මෙය මනවඩන්නේ ය යි දැනගනී. චක්ඛුවිඤ්ඤාණය ද සුවවේදනාවට කරුණු වූ ස්පර්ශය ද නිසා සුවවේදනාව උපදී. යළි ඇසින් රූපයක් දැක මෙසේ මෙය මන නො වඩනේය යි දැනගනී. චක්ඛුවිඤ්ඤාණය ද දුක්වේදනාවට කරුණු වූ ස්පර්ශය ද නිසා දුක්වේදනාව උපදී. යළි ඇසින් රූපයක් දැක