1. 13. 5.
සෝණ සූත්රය
128. එක්කලෙක භාග්යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි සෝණ ගැහැවිපුත් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස්ව හුන් ගැහැවිපුත් භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, යම් හෙයෙකින් ඇතැම් සත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම්, එයට හේතු කිම? ප්රත්යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිමැ යි.
සෝණ, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වේ. සෝණ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි.
සෝණ, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... සෝණ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද එය පතන, ගුණ කියන, ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වේ. සෝණ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. සෝණ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි, මේ ප්රත්යය යි.
සෝණ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන, ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වෙයි. සෝණ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි.
සෝණ, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... සෝණ, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ, එය උපාදාන කොට නැත්තේ වේ. සෝණ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. සෝණ, යම් හේතුවකින් මෙහි ඇතැම් සත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි, මේ ප්රත්යය යි.
1. 13. 6.
ඝෝසිත සූත්රය
129. එක්කලෙක ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ඝෝසිත ගැහැවි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් ඝෝසිත ගැහැවි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට මෙය සැලකෙළේ ය. වහන්ස, ආනන්දයෙනි, “ධාතුනානාත්වය ධාතුනානාත්වය” යි කියනු ලැබේ. වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් කොපමණෙකින් “ධාතුනානාත්වය” වදාරන ලද්දේ දැ යි.