1. 12. 8.
රාහුලෝවාද සූත්රය
121. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩවසන සේක. එසඳ එකලා වූ විවේකයෙන් යුත් භාග්යවතුන් වහන්සේට මෙබඳු චිත්තවිතර්කයෙක් පහළවිය;
රාහුලගේ රහත්බව මුහුකුරුවනදහම්හු මුහුකුරා ගියහ. මම රාහුල මහරහත්බැව්හි හික්මවන්නෙම් නම් මැනවැ යි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස වන්හ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණුසේක් ආයුෂ්මත් රාහුල තෙරුන් ඇමතූසේක: රාහුලය, නිසීදනය ගනුව. දිවාවිහරණය පිණිස අන්ධවනය වෙත එළඹෙන්නෙමු යි. එසේය වහන්සැ යි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්යවතුන් වහන්සේට පිළිතුරු දී නිසීදනය ගෙන භාග්යවතුන් වහන්සේ පසුපස ගමන් කෙළේ ය.
එකල්හි නොයෙක් දහස්ගණන් දෙවියෝ “අද භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් රාහුල තෙරුන් මහරහත්බැව්හි හික්මවන්නාහ”යි භාග්යවතුන් වහන්සේ අනුගමනය කළාහු වෙති. ඉක්බිති භාග්යවතුන් වහන්සේ අන්ධවනයට පිවිස එක්තරා රුකක්මුල පැන වූ අස්නෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් රාහුල තෙමේ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්නේ ය. එකත්පස් ව හුන් ආයුෂ්මත් රාහුලහට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
රාහුලය, ඒ කිමැයි හඟිහි, චක්ෂුස නිත්ය වේ ද, නොහොත් අනිත්ය වේ ද? වහන්ස අනිත්ය යැ. යමෙක් අනිත්ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? වහන්ස, දුඃඛ යැ. යමෙක් අනිත්ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය “තෙලෙ මාගේ ය. තෙලෙ මම වෙමි. තෙලෙ මාගේ ආත්ම ය යි දක්නට නිසි වේ දැ”යි. වහන්ස, තෙලෙ නිසි නො වේ මැ යි.
රූපයෝ නිත්ය වෙත් ද නොහොත් අනිත්ය වෙත් ද? වහන්ස, අනිත්ය යැ ... චක්ඛුවිඤ්ඤාණය නිත්ය වේ ද නොහොත් අනිත්ය වේ ද? වහන්ස, අනිත්ය යැ. චක්ඛුසම්ඵස්සය නිත්ය වේ ද නොහොත් අනිත්ය වේ ද? වහන්ස, අනිත්ය යැ. ... චක්ඛුසම්ඵස්සය නිසා යම් වේදනාවක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් හෙ ද නිත්ය වේ ද නොහොත් අනිත්ය වේ ද? වහන්ස, අනිත්ය ය. යමෙක් අනිත්ය නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? වහන්ස, දුක් ය. යමෙක් අනිස නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය මේ මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම ය යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
කන ... නැහැය ... දිව නිත්ය වේ ද නොහොත් අනිත්ය වේ ද? වහන්ස, අනිත්ය ය. ... රස ... ජිහ්වාවිඥානය ... ජිහ්වාසංස්පර්ශය ... ජිහ්වාසංස්පර්ශය නිසා යම් වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් හෙද නිත්ය වේ ද නොහොත් අනිත්ය වේ ද? වහන්ස, අනිත්ය ය. යමෙක් අනිත්ය නම් එය දුක් වේ ද නොහොත් සුව වේ ද? වහන්ස, දුක් ය. යමෙක් අනිත්ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේ ය මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
කය ... සිත නිත්ය වේ ද නොහොත් අනිත්ය වේ ද? වහන්ස, අනිත්ය ය. යමෙක් අනිත්ය නම් එය දුක් වේ ද නොහොත් සුව වේ ද? වහන්ස, දුක් ය. යමක් අනිත්ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
දහම් නිත්ය වේ ද නොහොත් අනිත්ය වේ ද? වහන්ස, අනිත්ය ය ... මනෝවිඤ්ඤාණය ... මනෝසම්ඵස්සය ... මනෝසම්ඵස්සය නිසා යම් වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් හෙද නිත්ය වේ ද නොහොත් අනිත්ය වේ දැ යි. වහන්ස, අනිත්ය ය. යමෙක් අනිත්ය නම් එය දුක් වේ ද නොහොත් සුව වේද?. වහන්ස, දුක් ය. යමක් අනිත්ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
රාහුල මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයෙහිත් කලකිරෙයි. ඇස්විනැණෙහිත් කලකිරෙයි. ඇස් පහසෙත් කලකිරෙයි. ඇස්පහස නිසා යම් මේ වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කනෙහිත් කලකිරෙයි ... නැහැයෙහිත් කලකිරෙයි ... දිවෙහිත් කලකිරෙයි. රසෙහිත් කලකිරෙයි. දිව්විනැණෙහිත් කලකිරෙයි. දිව්පහසෙහිත් කලකිරෙයි. දිව්පහස නිසා යම් මේ වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කයෙහිත් කලකිරෙයි ... සිතෙහිත් කලකිරෙයි. දහම්හිත් කලකිරෙයි. මනවිනැණෙහිත් කලකිරෙයි. මනපසෙහිත් කලකිරෙයි. මනපහස නිසා යම් මේ වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුණු ය යි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කරණී කරනලද. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් රාහුල තෙමේ භාග්යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තේ ය. මේ සුතුර බණන කල්හි ආයුෂ්මත් රාහුල තෙරුන්ගේ සිත උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදුණේ ය.
නොයෙක් දහස් ගණන් දෙවියන්ට ද “යම් කිසිවක් හටගන්නාසුලු නම් ඒ සියල්ල නැසෙනසුලු ය” යි කෙලෙස්රජස් නැති පහ වූ කෙලෙස්මල ඇති දහම් ඇස පහළවී.