12. ලෝකකාමගුණ වර්‍ගය
1. 12. 1.
මාරපාස සූත්‍රය
114. මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කට යුතු ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පිළිගන්නේ ද, ගුණ කියන්නේ ද, ගැලී සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ මරුවසන තැනට ගියේ මරුවසයට ගියේ මළපුඩුව ඔහු ගෙල වැළඳුණේ ය යි කියනු ලැබේ. හෙතෙමේ මාරබන්‍ධනයෙන් බැඳුණේ මරුහු විසින් කැමති පරිදි කළ හැක්කේ වෙයි.
මහණෙනි, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දත යුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දත යුතු පහස් ... මහණෙනි, ඉටු කැමති, මනවඩන, පියදෑ වූ කාමයෙන් යුත්, සිත් අලවන සිතින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය පිළිගන්නේ ද එහි ගුණ කියන්නේ ද, එහි ගැලී සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ මරුවසන තැනට ගියේ මරුවසයට ගියේ මරුගේ මළපුඩුව ඔහු ගෙල වැළඳුණේ යයි කියනු ලැබේ. හෙතෙමේ මාරබැඳුමෙන් බැඳුණේ මරුහු විසින් කැමති පරිදි කළ හැක්කේ වෙයි.
තවද මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කට යුතු ඇසින් ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, මහණෙනි, මේ මහණ තෙමේ මරුවසන තැනට නො ගියේ මරුවසයට නො ගියේ මරුගේ මළපුඩුව ඔහු ගෙලින් ගිලිහුණේ ය යි කියනු ලැබේ. හෙතෙමේ මරබැඳුමෙන් මිදුණේ මරහු විසින් කැමති පරිදි නො කළ හැක්කේ වෙයි.
මහණෙනි, කනින් දත යුතු සද ඇත. ... නැහැයෙන් දත යුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දත යුතු පහස් ... ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් අලවන සිතින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පිළිගන්නේ ද, ගුණ නො කියන්නේ ද, ගැලී නො සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ මරුවසන තැනට නො ගියේ මරුවසයට නො ගියේ මරුගේ මළපුඩුව ඔහු ගෙලින් ගිලිහුණේ යයි කියනු ලැබේ. හෙතෙමේ මරබැඳුමෙන් මිදුණේ මරහු විසින් කැමති පරිදි නො කළහැක්කේ වේ යි.
1. 12. 2.
දුතිය මාරපාස සූත්‍රය
115. මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් අලවන ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පිළිගන්නේ ද, (එහි) ගුණ කියන්නේ ද, ගැලී සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ඇසින් දත යුතු රූහි බැඳුණේ මරුවසන තැනට ගියේ මරුවසයට ගියේ මරහු විසින් කැමති පරිදි කළ හැක්කේ ය යි කියනු ලැබේ.
මහණෙනි, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දත යුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දත යුතු පහස් ... මහණෙනි, සිතින් දත යුතු දහම් ඇත ... ඉදින් මහණ තෙමේ එය පිළිගන්නේ ද, එහි ගුණ කියන්නේ ද එහි ගැලී සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ සිතින් දතයුතු දහම්හි බැඳුණේ මරුවසන තැනට ගියේ මරුවසයට ගියේ මරහු විසින් කැමති පරිදි කළ හැක්කේ ය යි කියනු ලැබේ.
තවද මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් අලවන ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නො පිළිගන්නේ ද, එහි ගුණ නො කියන්නේ ද, එහි ගැලී නො සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ඇසින් දත යුතු රූපයන්ගෙන් මිදඳුණේ මරුවසන තැනට නො ගියේ මරුවසයට නො ගියේ මරහු විසින් කැමති පරිදි නො කළ හැක්කේ ය යි කියනු ලැබේ.
මහණෙනි, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දත යුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දත යුතු පහස් ... මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් අලවන සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පිළිගන්නේ ද, එහි ගුණ නො කියන්නේ ද, එහි ගැලී නො සිටිනේ ද, මහණෙනි, මේ මහණ තෙමේ සිතින් දත යුතු දහමින් මිදුණේ මරුවසන තැනට නො ගියේ මරුවසයට නො ගියේ මරහු විසින් කැමති පරිදි නො කළ හැක්කේ ය යි කියනු ලැබේ යි.
1. 12. 3.
ලෝකන්තගමන සූත්‍රය
116. මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැ යි, දැක්ක හැකි යැයි, පැමිණිය හැකි යැයි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකු දු මම නො කියමි යි මෙය වදාරා භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක.