1. 12. 9.
සංයෝජන සූත්‍රය
122. මහණෙනි, සඤ්ඤෝජනයන්ට හිතදහම් ද සඤ්ඤෝජන ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සඤ්ඤෝජනයන්ට හිත දහම්හු කවරහු ද සඤ්ඤෝජන කවරේ ද යත්:
මහණෙනි, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු රූ ඇත. මහණෙනි, මොහු සඤ්ඤෝජනයන්ට හිත දහම්හු යයි කියනු ලැබෙත්. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි. මහණෙනි, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... මහණෙනි, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. මහණෙනි, මොහු සංයෝජනයන්ට හිත දහම්හු යයි කියනු ලැබෙත්. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි.
1. 12. 10.
උපාදාන සූත්‍රය
123. මහණෙනි, උපාදානයන්ට හිත දහම් ද උපාදාන ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, උපාදානයන්ට හිත වූ දහම්හු කවරහු ද? උපාදාන කවරේ ද යත්:
මහණෙනි, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. මහණෙනි, මොහු උපාදානයන්ට හිත දහම්හු යයි කියනු ලැබෙත්. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි. මහණෙනි, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දතයුතු පහස් ... මහණෙනි, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. මහණෙනි, මොහු උපාදානයන්ට හිත දහම්හු යයි කියනු ලැබෙත්. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි.
දොළොස්වැනි ලෝකකාමගුණ වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
මාරපාස නමින් දෙකෙක් ද, ලෝකන්තගමන, කාමගුණ නමින් දෙකෙක් ද, සක්කපඤ්හ, පඤ්චසිඛපඤ්හ, සාරපුත්තසද්ධිවිහාරික, රාහුළොවාද, සඤ්ඤෝජන උපාදාන යයි සයෙක් ද කියන ලදහ. එයින් වර්‍ගය යි කියනු ලැබේ.
13. ගහපති වර්‍ගය
1. 13. 1.
වේසාලි සූත්‍රය
124. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩවසන සේක. එකල්හි විසල්පුර වැසි උග්ග ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත් පස් ව හුන් විසල්පුර වැසි උග්ග ගැහැවි භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ? යි.
ගැහැවිය, ඉටු කැමති මන වඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවි, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි.
ගැහැවි, කනින් දතයුතු සද ඇත. ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... ගැහැවි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවි, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. ගැහැවි, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.
ගැහැවි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන, ගුණ නො කියන, ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වෙයි. ගැහැවි, උපාදාන රහිත මහණ පිරිනිවෙයි.
ගැහැවි, කනින් දතයුතු ශබ්ද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... ගැහැවි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද එය නො පතන, ගුණ නො කියන, ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වෙයි. ගැහැවි, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. ගැහැවි, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍ය ය යි.