1. 12. 7.
සාරිපුත්තසද්ධිවිහාරික සූත්රය
120. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එකල්හි එක්තරා මහණෙක් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මහණ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීයේ ය. ඇවැත්නි ශාරීපුත්රයෙනි, සද්ධිවිහාරික මහණ සික පිළිකෙව් කොට ගිහිබවට පෙරළුණේ යි.
ඇවැත්නි, ඉඳුරන්හි නොවැසූ දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදි වැරීමෙහි නොයෙදුණු (මහණ) හට මෙය මෙසේම වෙයි.
ඇවැත්නි, ඉඳුරන්හි නොවැසූ දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදි වැරීමෙහි නො යෙදුණු ඒ මහණ පිරිපුන් පිරිසිදු බඹසර දිවිහිමියෙන් නො සිඳ රක්නේ ය යන මෙකරුණ ඒකාන්තයෙන් නො ලැබේ. ඇවැත්නි, ඉඳුරන්හි වැසූ දොර ඇති බොජුනෙහි පමණ දන්නා නිදිවැරීමෙහි යෙදුණු ඒ මහණ පිරිපුන් පිරිසිදු බඹසර දිවිහිමියෙන් නො සිඳ රක්නේ ය යන මෙකරුණ ඒකාන්තයෙන් ලැබෙයි.
ඇවැත්නි, කෙසේ නම් ඉඳුරන්හි වැසූ දොර ඇත්තේ ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ ඇසින් රුවක් දැක නිමිතිවශයෙන් නොගන්නාසුලු වූයේ අනුව්යඤ්ජනවශයෙන් නොගන්නාසුලු වූයේ වෙයි. යම් හෙයෙකින් චක්ඛුන්ද්රිය අසංවෘත ව වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස (දැඩිලොබ, නොසතුට) යන ලාමක අකුසල් දහම්හු ලුහුබඳනාහු ද, එහි සංවරය පිණිස පිළිපදී. චක්ඛුන්ද්රියය රකී. චක්ඛුන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. කනින් සදක් අසා ... නැහැයෙන් ගඳක් ගෙන ... දිවෙන් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... සිතින් දහමක් දැන නිමිතිවශයෙන් නොගන්නාසුලු වූයේ අනුව්යඤ්ජන වශයෙන් නොගන්නාසුලු වූයේ වෙයි. යම් හෙයෙකින් මනින්ද්රිය අසංවෘත ව වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසලදහම්හු ලුහුබඳනාහු ද, එහි සංවරය පිණිස පිළිපදියි. මනින්ද්රිය රකියි. මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. ඇවැත්නි, මෙසේ ඉඳුරන්හි වසන ලද දොර ඇත්තේ වෙයි.
ඇවැත්නි, කෙසේ නම් බොජුනෙහි පමණ දන්නේ වේ ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ “කෙළි පිණිස නො වේ, මදය පිණිස නො වේ, අඩුතැන් පිරීම පිණිස නො වේ, සැරසුම පිණිස නො වේ, යම්තාක් මේ කය පැවැත්ම පිණිස යැපීම පිණිස සාදුක් වේදනා නැසීම පිණිස බඹසරට අනුග්රහ පිණිස (වළඳමි). මෙසේ පැරණි වේදනාව ද නසන්නෙමි. අලුත් වේදනා ද නූපදවන්නෙමි. මාගේ ඉරියව් පැවැත්ම ද නිවරද බව ද පහසුවිහරණය ද වන්නේ ය”යි නුවණින් සලකා අහර ගනී. ඇවැත්නි, මෙසේ බොජුනෙහි පමණ දන්නේ වෙයි.
ඇවැත්නි, කෙසේ නම් නිදිවැරීමෙහි යෙදුණේ වේ ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ දහවල සක්මනින් ද හිඳීමෙන් ද නීවරණ දහමින් සිත පිරිසිදු කෙරෙයි. රෑ පළමුයම සක්මනින් ද හිඳීමෙන් ද නීවරණදහමින් සිත පිරිසිදු කෙරෙයි. රෑ මැදුම්යම දකුණු පයෙහි වම් පය මඳක් මෑත් කොට තබා සිහි ඇත්තේ මනානුවණ ඇත්තේ නැගිටිමි යන හැඟීම මෙනෙහි කොට දකුණුපසින් සිංහශෙය්යව කෙරෙයි. රෑ පැසුළුයම පෙරළා නැඟිට සක්මනින් ද හිඳීමෙන් ද නීවරණදහමින් සිත පිරිසිදු කෙරෙයි. ඇවැත්නි, මෙසේ නිදිවැරීමෙහි යෙදුණේ වෙයි.
ඇවැත්නි, එහෙයින් මෙහිලා මෙසේ හික්මිය යුතු යි. ඉඳුරන්හි වැසූ දොර ඇත්තමෝ බොජුනෙහි පමණ දන්නමෝ නිදිවැරීමෙහි යෙදුණමෝ වන්නෙමු යි. ඇවැත්නි, තොප විසින් මෙසේ හික්මිය යුතු යි.