1. 12. 6.
පඤ්චසිඛපඤ්හ සූත්‍රය
119. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි පන්සිළුගඳෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි පන්සිළුගඳෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නොපිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ? වහන්ස යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ යි.
පඤ්චසිඛ, ඇසින් දතුයුතු රූ ඇත. ... (පළමු සුතුර මෙන් විතර කටයුතු යි) පඤ්චසිඛ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද ගුණ කියා ද ගැලී සිටී ද එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. පඤ්චසිඛ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. පඤ්චසිඛ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
පඤ්චසිඛ, ඇසින් දතයුතු රූ ඇත ... පඤ්චසිඛ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වේ. පඤ්චසිඛ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. පඤ්චසිඛ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
1. 12. 7.
සාරිපුත්තසද්ධිවිහාරික සූත්‍රය
120. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එකල්හි එක්තරා මහණෙක් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මහණ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීයේ ය. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, සද්ධිවිහාරික මහණ සික පිළිකෙව් කොට ගිහිබවට පෙරළුණේ යි.
ඇවැත්නි, ඉඳුරන්හි නොවැසූ දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදි වැරීමෙහි නොයෙදුණු (මහණ) හට මෙය මෙසේම වෙයි.
ඇවැත්නි, ඉඳුරන්හි නොවැසූ දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදි වැරීමෙහි නො යෙදුණු ඒ මහණ පිරිපුන් පිරිසිදු බඹසර දිවිහිමියෙන් නො සිඳ රක්නේ ය යන මෙකරුණ ඒකාන්තයෙන් නො ලැබේ. ඇවැත්නි, ඉඳුරන්හි වැසූ දොර ඇති බොජුනෙහි පමණ දන්නා නිදිවැරීමෙහි යෙදුණු ඒ මහණ පිරිපුන් පිරිසිදු බඹසර දිවිහිමියෙන් නො සිඳ රක්නේ ය යන මෙකරුණ ඒකාන්තයෙන් ලැබෙයි.