1. 12. 5.
සක්කපඤ්හ සූත්රය
118. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි සක්දෙවිඳු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙවිඳු භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, යම්හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම, ප්රත්යය කිමැ යි. වහන්ස, යම්හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම, ප්රත්යය කිමැ යි.
දෙවිඳ, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. දෙවිඳ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. දෙවිඳ, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... දෙවිඳ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වේ. දෙවිඳ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. දෙවිඳ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්රත්යය යි.
දෙවිඳ, ඉටු කැමති මන වඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නොකියන ගැලී නොසිටින ඔහුගේ විඤ්ඤාණය එය නො ඇසුරු කෙළේ එය උපාදාන කොට නැත්තේ වෙයි. දෙවිඳ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. දෙවිඳ, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... දෙවිඳ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නොකියන ගැලී නොසිටින ඔහුගේ විඤ්ඤාණය එය නොඇසුරු කෙළේ එය උපාදාන කොට නැත්තේ වේ. දෙවිඳ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. දෙවිඳ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටු දැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්රත්යය යි.
1. 12. 6.
පඤ්චසිඛපඤ්හ සූත්රය
119. එක්කලෙක භාග්යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි පන්සිළුගඳෙව්පුත් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි පන්සිළුගඳෙව්පුත් භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නොපිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්රත්යය කිමැ? වහන්ස යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්රත්යය කිමැ යි.