1. 12. 4.
කාමගුණ සූත්රය
117. මහණෙනි, සම්බෝධියෙන් පෙර ම බුදු නො වූ බෝසත් වූ ම මට මෙබඳු සිතෙක් විය: මාගේ යම් පස්කම්ගුණ කෙනෙක් සිතින් පහස්නා ලද විරූ ද, ඉකුත් වූවාහු ද, නිරුද්ධ වූවාහු ද, වෙනස් වූවාහු ද එහි මා සිත පවත්නේ බහුල වශයෙන් පවත්නේ ය. වර්තමාන පඤ්චකාමගුණයන්හි ද (එසේ ය.) අනාගත පඤ්චකාමගුණයන්හි ද මඳ වශයෙන් (පවත්නේ ය.)
මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් විය: මාගේ යම් පඤ්චකාමගුණ කෙනෙක් සිතින් පහස්නා ලද විරූ ද, ඉකුත් වූවාහු ද, නිරුද්ධ වූවාහු ද, වෙනස් වූවාහු ද තමහට වැඩ කැමති මා විසින් එහි අප්රමාදය හා සිහිය යන සිතේ ආරක්ෂාව කටයුතුය කියා යි.
මහණෙනි, එහෙයින් මෙහි ලා තොපට ද තොපගේ යම් පඤ්චකාමගුණ කෙනෙක් සිතින් පහස්නා ලද විරූ ද, ඉකුත් වූවාහු ද, නිරුද්ධ වූවාහු ද, වෙනස් වූවාහු ද එහි තොපගේ සිත පවත්නේ බහුල කොට පවත්නේ ය. වර්තමාන පඤ්චකාමගුණයන්හි ද (එසේ ය) අනාගත පඤ්චකාමගුණයන්හි ද මද කොට (පවත්නේ ය.) මහණෙනි, එහෙයින් මෙහි ලා තොප විසිනුදු තොපගේ යම් පඤ්චකාමගුණ කෙනෙක් සිතින් පහස්නා ලද විරූ ද, ඉකුත් වූවාහු ද නිරුද්ධ වූවාහු ද, වෙනස් වූවාහු ද එහි ලා තමහට වැඩකැමති තොප විසින් අප්රමාදය හා සිහිය යන සිතේ ආරක්ෂාව කට යුතු යැ.
මහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ නම් රූපසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක කනත් නිරුද්ධ වේ නම් ශබ්දසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. යම්තැනෙක නැහැයත් නිරුද්ධ වේ නම් ගන්ධසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක දිවත් නිරුද්ධ වේ නම් රසත් නැති වේ නම් ඒ ආයතනය දත යුතු ය. යම් තැනෙක කයත් නිරුද්ධ වේ නම් ස්ප්රෂ්ටව්යසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක සිතත් නිරුද්ධ වේ නම් ධර්මසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය යි භාග්යවතුන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ වැඩමකළ නොබෝ වේලාවකින් ඒ භික්ෂූන්ට මෙබඳු සිතෙක් විය: ඇවැත්නි භාග්යවතුන් වහන්සේ “මහණෙනි, එහෙයින් මෙහි ලා යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ නම් රූපසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. ... යම් තැනෙක සිතත් නිරුද්ධ වේ නම් ධර්මසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය යි මේ උද්දේසය සැකෙවින් අපට උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයේ අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දැ යි.
එකල්හි ඒ භික්ෂූන්ට මෙබඳු සිතෙක් වි ය: මේ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් පසස්නා ලදහ. නුවණැති සබ්රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආනන්ද ආයුෂ්මත්හු භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයාගේ අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. අපි ආනන්ද ආයුෂ්මතුන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආනන්ද අයුෂ්මතුන්ගෙන් මේ අරුත පුළුවුස්නමෝ නම් මැනවැ යි.
ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට මෙය කීහ. ඇවැත්නි ආනන්දයෙනි, භාග්යවතුන් වහන්සේ “මහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ නම් රූපසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය ... යම් තැනෙක සිතත් නිරුද්ධ වේ නම් ධර්මසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු යයි මේ උද්දේසය අපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක.