1. 2. 5. 9.
වාසිජටොපම සූත්රය
101. සැවැත්නුවර:
මහණෙනි, මම දන්නා දක්නා පුඟුල්හට ආස්රවක්ෂය කියමි. නො දන්නාහට නො කියමි, නො දක්නාහට නො කියමි.
මහණෙනි, කුමක් දන්නා කුමක් දක්නා පුඟුල්හට ආස්රවක්ෂය වේ යැ යත්:
රූපය මෙසේ යැ, රූපසමුදය (-හට ගැනීම) මෙසේ යැ, රූප අස්තංගමය (-අභාවය) මෙසේ යැ, වේදනාව මෙසේ යැ ... සංඥාව මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥානය මෙසේ යැ, විඥානයේ හටගැනීම මෙසේ යැ, විඥානයේ අස්තංගමය මෙසේ යි. මහණෙනි, මෙසේ දන්නා මෙසේ දක්නා පුඟුල්හට ආස්රවක්ෂය වේ.
භාවනානුයෝගයෙහි යෙදී වාස කරන මහණහට “මාගේ සිත උපාදාන විසින් ග්රහණය නො කොට ආස්රවයන්ගෙන් මිදෙන්නේ නම් මනා” යි ඉදින් මෙබඳු රිසියෙක් උපදනේ ද, එසේ නමුදු ඔහුගේ සිත උපාදාන විසින් ග්රහණය නො කොට ආස්රවයන් ගෙන් නො මිදෙයි.
ඒ කවර හෙයිනැ යත්:
නො වඩනා ලද හෙයිනැ යි කියයුතු යි.
කුමක් නො වඩනා ලද හෙයිනැ යත්:
සතර සතිපට්ඨාන නො වඩනාලද හෙයිනැ, සතර සම්මප්පධාන නො වඩනාලද හෙයිනැ, සතර ඉද්ධිපාද නො වඩනාලද හෙයිනැ, පඤ්චේන්ද්රිය නො වඩනාලද හෙයිනැ, පඤ්චබල නො වඩනාලද හෙයිනැ, සත්ත බොජ්ඣංග නො වඩනාලද හෙයිනැ, ආර්ය්යඅෂ්ටාඞ්ගික මාර්ගය නො වඩනාලද හෙයිනි.
මහණෙනි, යම්සේ කිකිළියකගේ බිජුවටහු අටෙක් හෝ දශයෙක් හෝ දොළොසෙක් හෝ වෙත් ද, කිකිළිය විසින් ඒ මතුයෙහි ලැගැ මොනොවට නො රක්නා ලද්දාහු මොනොවට උණුසුම් නො ගන්වන ලද්දාහු මොනොවට කුකුළුගඳ නො ගන්වන ලද්දාහු වෙති. ඒ කිකිළියට “මාගේ කුකුළු පැටවු පානියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ නික්මෙන්නාහු නම් මැනවැ” යි ඉදින් මෙ බඳු ආශාවක් උපදනේ ද? එහෙත් ඒ කුකුළු පැටවු පානියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ නික්මෙන්නට අසමත්හු මැ යි.
ඒ කුම් හෙයිනැ යත්:
මහණෙනි ඒ එසේ මැ යි. අටක් වූ හෝ දශයක් වූ හෝ දොළොසක් වූ හෝ කිකිළිය ගේ බිජුවටහු කිකිළිය විසින් මැනැවින් නොලගින ලද්දාහු යැ, මැනැවින් උණුසුම් නොගන්වන ලද්දාහු යැ, මැනැවින් නොවඩන ලද්දාහු යි. (එහෙයිනි).
මහණෙනි, එසෙයින් ම භාවනානුයෝගී වැ වෙසෙන මහණහට “මා සිත උපාදාන රහිත ව ආස්රවයන් කෙරෙන් මිදෙන්නේ නම් මැනැවැ” යි කෙසේ හෝ මෙබඳු ආශාවක් උපදනේ ද, එහෙත් ඔහුගේ සිත උපාදාන රහිත ව ආස්රවයන් කෙරෙන් නො මැ මිදෙයි.
ඒ කවර හෙයින යත්:
නොවඩන ලද බැවිනැ යි කියයුතු වෙයි.
කුමක් නොවඩනා ලද බැවිනැ යත්:
සතර සතිපට්ඨාන නො වඩනාලද බැවිනැ, සතර සම්මප්පධාන නො වඩනාලද බැවිනැ, සතර ඉද්ධිපාද නො වඩනාලද බැවිනැ, පඤ්චේන්ද්රිය නො වඩනාලද බැවිනැ, පඤ්චබල නො වඩනාලද බැවිනැ, සත්ත බොජ්ඣංග නො වඩනාලද බැවිනැ, ආර්ය්යඅෂ්ටාඞ්ගික මාර්ගය නො වඩනාලද බැවිනි.
මහණෙනි, භාවනානුයෝගී වැ වෙසෙන මහණහට “මා සිත උපාදාන රහිත වැ ආස්රවයන් කෙරෙන් මිදෙන්නේ නම් මැනැවැ” යි ඉදින් මෙබඳු ආශාවක් නූපදනේ ද? එහෙත් ඔහුගේ සිත උපාදාන රහිත වැ ආස්රවයන් කෙරෙන් මිදෙයි.
ඒ කවර හෙයින යත්:
වඩන ලද බැවිනැ යි කියයුතු වෙයි.
කුමක් වඩන ලද බැවිනැ යත්:
සතර සීවටන් වඩන ලද බැවිනැ, සතර සම්මප්පධාන වඩනාලද බැවිනැ, සිවුඉදුපා වඩන ලද බැවිනැ, පසිඳුරන් වඩන ලද බැවිනැ, පස්බලන් වඩන ලද බැවිනැ, සත්ත බොජ්ඣංග වඩන ලද බැවිනැ, අරිඅටඟිමග වඩන ලද බැවිනි.
මහණෙනි, යම්සේ කිකිළියකගේ බිජුවටහු අටෙක් හෝ දශයෙක් හෝ දොළොසක් හෝ වෙත් ද, ඒවා කිකිළිය විසින් මැනවින් ලගිනා ලද්දාහු මැනවින් උණුසුම් ගන්වන ලද්දාහු මැනවින් වඩන ලද්දාහු වෙත් ද,. ඒ කිකිළියට “මාගේ කුකුළු පැටවු පානියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ නික්මෙන්නාහු නම් මැනවැ” යි ඉදින් මෙ බඳු ආශාවක් නූපදනේ ද, එහෙත් ඒ කුකුළු පැටවු පානියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ නික්මෙන්නට සමර්ත්ථහු මැ යි.
ඒ කවර හෙයිනැ යත්:
මහණෙනි ඒ එසේ මැ යි. අටක් වූ හෝ දශයක් වූ හෝ දොළොසක් වූ හෝ කිකිළියගේ බිජුවටහු කිකිළිය විසින් මැනැවින් ලගින ලද්දෝ, මැනැවින් උණුසුම් ගන්වන ලද්දෝ, මැනැවින් වඩන ලද්දෝ වන්නාහු ය. (එහෙයිනි).
මහණෙනි, එසෙයින් මැ භාවනානුයෝගී වැ වෙසෙන මහණහට “මා සිත උපාදාන රහිත ව ආස්රවයන්ගෙන් මිදෙන්නේ නම් මැනැවැ යි. ඉදින් මෙබඳු ආශාවක් නූපදනේ ද, එහෙත් ඔහුගේ සිත උපාදාන රහිත ව ආස්රවයන් කෙරෙන් මිදෙයි.
ඒ කුම් හෙයින යත්:
වඩන ලද බැවිනැ යි කියයුතු වෙයි.