5. පුප්ඵ වර්‍ගය
1. 2. 5. 1.
නදී සූත්‍රය
93. සැවැත්නුවර:
මහණෙනි, යම්සේ පර්‍වතයෙන් ගලා බස්නා, දියෙහි වැටුණු වැටුණු දෑ පහළට ගෙන යන, දුරට ගමන් කරන, වේගවත් ජලධාරා ඇති නදියක් වේ ද, ඉදින් එහි දෙතෙර හටගත් වැලුක් තෘණයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහ. ඉදින් හටගත් කුශ තෘණයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහ. ඉදින් හටගත් බබුස් තෘණයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහ, ඉදින් හටගත් සුවඳහොට තෘණයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහ, ඉදින් හටගත් (එරඬු ආදී දුබල) වෘක්‍ෂයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහු ය.
ඒ නදියේ සැඩ පහරින් පහතට ගෙන යනු ලබන (පාවෙන) පුරුෂයෙක් ඉදින් ඒ වැලුක් එල්බ ගන්නේ ද, ඒ තෘණ සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට ඇති බලවත් වනසට පැමිණෙන්නේ ය. ඉදින් කුසතණ ගන්නේ ද, ඒ තෘණ සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට බලවත් වනසට පැමිණෙන්නේ යැ. ඉදින් බුබුස් තණ ගන්නේ ද, ඒ තෘණ සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට බලවත් වනසට පැමිණෙන්නේ යැ. ඉදින් සුවඳහොට ගන්නේ ද, ඒ තෘණ සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට බලවත් වනසට පැමිණෙන්නේ යැ. ඉදින් රුක් ගන්නේ ද, ඒ රුක් සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට බලවත් වනසට පැමිණෙන්නේ යැ.
මහණෙනි, එසෙයින් ම බුද්ධාදී ආර්‍ය්‍යයන් නො දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ, ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නා, සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ, සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන රූපය ආත්ම විසින් දකියි, රූපවත් ආත්මය හෝ, රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හි දකියි. ඔහට ඒ රූපය නැසෙයි. හෙ ඒ නිදාන කොට ඇති මහත් වනසට පැමිණෙයි.
වේදනාව ආත්ම යයි දකියි ... වේදනාවේ ආත්මය පවතී යයි හෝ දකියි. ඔහුගේ ඒ වේදනාව නැසෙයි. හෙ ඒ හේතු කොට ඇති මහත් වනසට පැමිණෙයි. සංඥාව ... සංස්කාර ආත්මය යි දකියි, ආත්මය සංස්කාර ඇත්තෙකැ යි හෝ ආත්මයෙහි සංස්කාර පවතී යි හෝ සංස්කාරයන්හි ආත්මය පවතී යි හෝ දකියි. ඔහුගේ ඒ සංස්කාරයෝ නැසෙති, හෙ ඒ හේතු කොට ඇති බලවත් වනසට පැමිණෙයි. විඥානය ආත්මය යි දකියි, ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ ආත්මයෙහි විඥානය පවතී යි හෝ විඥානයෙහි ආත්මය පවතී යි හෝ දකියි, ඔහුගේ ඒ විඥානය නැසෙයි. හේ ඒ හේතු කොට බලවත් දුකට පැමිණේ.
මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ ද?යි.
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යෙමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සැහැවි නම් එය “තෙල මාගේ යැ. තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යයි දක්නට සුදුසු දැ?”යි.
වහන්ස, මෙය යුතු නො වේ ම ය.
වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ ... විඥානය නිත්‍ය හෝ වෙත් ද, අනිත්‍ය හෝ වෙත් දැ?යි.
වහන්ස, අනිත්‍ය ය ...
මහණෙනි, එහෙයින් මෙහි ... මේ රහත් බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී යි.
1. 2. 5. 2.
පුප්ඵ සූත්‍රය
94. සැවැත්නුවර:
මහණෙනි, මම ලෝකයා සමග විවාද නො කරමි. මහණෙනි, ලෝකයා වූ කලී මා සමග විවාද කෙරෙයි. මහණෙනි, ධර්‍මවාදියෙක් ලොව කිසිවකු සමග විවාද නො කෙරෙයි.
මහණෙනි, ලොව පණ්ඩිතයන් විසින් යමෙක් නැතැ යි සම්මත නම් මම ද එය නැතැ යි කියමි. මහණෙනි , ලොව යෙමෙක් පණ්ඩිතයන් විසින් ඇතැ යි සම්මත නම් මම ද එය ඇතැ යි කියමි.
මහණෙනි, මම යම් නැතැ යි කියම් ද, ලොව එ බඳු කිමෙක් පණ්ඩිතයන් විසින් නැතැ යි සම්මත ද යත්:
මහණෙනි, නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමධර්‍ම රූපයක් ලොව නැතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය නැතැ යි කියමි. නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමධර්‍ම වේදනාවක් නැතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය නැතැ යි කියමි. සංඥාවක් ... නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමධර්‍ම සංස්කාර ලොව නැතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය නැතැ යි කියමි. නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමධර්‍ම විඥානයක් ලොව නැතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය නැතැ යි කියමි. මහණෙනි, මම යමක් නැතැ යි කියම් ද, මේ වූකලී ලෝකයෙහි පණ්ඩිතයන් විසින් නැතැ යි සම්මත යි.
මහණෙනි, මම යෙමෙක් ඇතැ යි කියම් ද, ඒ කිමෙක් ලොව පණ්ඩිතයන් විසින් ඇතැ යි සම්මත ද යත්:
මහණෙනි, අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්‍ම රූපයක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත ය. මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්‍ම වේදනාවක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ . මම ද එය ඇතැ යි කියමි. සංඥාවක් ... අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්‍ම සංස්කාර ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ . මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්‍ම විඥානයක් පණ්ඩිතයන් විසින් ලොව ඇතැ යි සම්මත යැ, මම ද එය ඇතැ යි කියමි.