2. මජ්ඣිමපණ්ණාසකය
1. උපය වර්‍ගය
1. 2. 1. 1.
උපය සූත්‍රය
53. සැවැත්නුවර:
මහණෙනි, උපය (තෘෂ්ණා - දෘෂ්ටි - මාන) සහිත වූයේ, සසරින් නො මිදුණේ වෙයි. උපය රහිත වූයේ මිදුණේ වෙයි. (තෘෂ්ණා - දෘෂ්ටි - මාන විසින්) රූපයට හෝ එළැඹ සිටුනා කර්‍මවිඥානය රූපය අරමුණු කොට රූපය පිහිට කොට සිටුනේ යැ. නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් වූයේ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙයි. මහණෙනි, වේදනෝපය හෝ ... සංඥෝපය හෝ ... මහණෙනි, සංස්කාරෝපය හෝ එළඹ සිටුනා කර්‍මවිඥානය සංස්කාර අරමුණු කොට සංස්කාර පිහිට කොට සිටුනේ යැ. නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් වූයේ වෘද්ධියට විරූඪියව විපුලත්‍වයට පැමිණෙයි.
මහණෙනි, යමෙක් මෙසේ කියා නම් (කිසේ යැ:) “මම රූපය තබා වේදනා තබා සංඥාව තබා සංස්කාර තබා විඥානයාගේ ආගතිය හෝ ගතිය හෝ ච්‍යුතිය හෝ උත්පත්තිය හෝ වෘද්ධිය හෝ විරූඪිය හෝ විපුලත්‍වය හෝ පනවමි” යි (කියායි). තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
මහණෙනි, ඉදින් රූපධාතුව පිළිබඳ වූ, මහණහුගේ රාගය ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, කර්‍මවිඥානයාගේ පිහිටීමෙක් නො වෙයි. මහණෙනි, ඉදින් වේදනාධාතුව පිළිබඳ වූ, මහණහුගේ ... මහණෙනි, ඉදින් සංඥාධාතුව පිළිබඳ වූ, මහණහුගේ ... මහණෙනි, ඉදින් සංස්කාරධාතුව පිළිබඳ වූ, මහණහුගේ රාගය ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, කර්‍මවිඥානයාගේ ප්‍රතිෂ්ඨායෙක් නො වෙයි. මහණෙනි, ඉදින් විඥානධාතුව පිළිබඳ වූ, මහණහුගේ රාගය ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, විඥානයාගේ ප්‍රතිෂ්ඨායෙක් නො වෙයි. නො පිහිටි ඒ විඥානය විරූඪියට නො පැමිණියේ ප්‍රතිසන්‍ධිය අභිසංස්කරණය නො කොට මිදුණේ වෙයි. විමුක්ත හෙයින් ස්ථිත වෙයි, ස්ථිත හෙයින් සන්තුෂ්ට වෙයි. සන්තුෂ්ට හෙයින් ත්‍රස්ත නො වෙයි, ත්‍රස්ත නො වන්නේ තමා කෙරෙහි ම නිවෙයි. ජාතිය ක්‍ෂය වියැ, බඹසර වැස නිමවනලද, කරණී කරන ලදී, තෙල අනුපාදා පරිනිර්‍වාණය පිණිස කළ යුතු අන් කිසෙක් නැති යි නුවණින් දනී යි.
1. 2. 1. 2.
බීජ සූත්‍රය
54. සැවැත්නුවර:
මහණෙනි, මේ බීජයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: මූලබීජ යැ, ස්කන්‍ධ බීජ යැ, ඵලු (පුරුක්) බීජ යැ, අග්‍රබීජ යැ, පස්වැනි වූ බීජබීජ ය දැයි. මහණෙනි, මේ පඤ්ච බීජයෝ නො කැඩුණා හු, කුණු නො වූවාහු, අවු-සුළඟින් නො පහළාහු, පිහිටි සාරය ඇත්තාහු සුඛසයිත වූවාහු වෙත් ද, පිහිටන පොළොව ද නො වේ නම්, තෙත් කරන ජලය ද නො වේ නම්, මහණෙනි, මේ පඤ්ච බීජයෝ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙත් ද?
වහන්ස, තෙල නො වේ මැයි.
මහණෙනි, මේ පඤ්ච බීජයෝ කැඩී ගියාහු, කුණු වූවාහු, අවු-සුළඟින් පහළාහු, සාරාදායී නො වූවාහු, සුඛසයිත නො වූවාහු වෙත් ද, පොළොව ද ඇත්නම් ජලය ද ඇත්නම් මහණෙනි, මේ පඤ්ච බීජයෝ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙත් ද?
වහන්ස, තෙල නො වේ ම යැ.
මහණෙනි, මේ පඤ්ච බීජයෝ නො කැඩුණාහු, කුණු නො වූවාහු, සාරය ගෙන දෙන්නාහු, සුඛසයිත වූවාහු වෙත් ද, පොළොව ද, ජලය ද ඇත් ද, (එසඳ) මේ පඤ්ච බීජයෝ වැඩීමට වෙසෙසින් නැඟීමට විපුලභාවයට පැමිණෙත් ද?
වහන්ස, එසේ යැ.
මහණෙනි, පෘථිවිධාතුව යම්සේ ද, එසෙයින් චතුර් විඥාන ස්ථිතීහු දතයුත්තාහ. මහණෙනි, ආපෝධාතුව යම්සේ ද, එසෙයින් නන්‍දිරාගය දතයුතුය. මහණෙනි, පඤ්ච බීජයෝ යම්සේ ද, එසෙයින් ප්‍රත්‍යය සහිත කර්‍මවිඥානය දත යුතු යි.
මහණෙනි, රූපයට පැමිණ සිටුනා කර්‍මවිඥානය රූපය අරමුණු කොට රූපය පිහිට කොට සිටුනේ ද, නන්‍දි සඞ්ඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් වූයේ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙයි. මහණෙනි, වේදනාවට හෝ පැමිණි ... මහණෙනි, සංඥාවට හෝ පැමිණි ... මහණෙනි, සංස්කාරයනට හෝ පැමිණි සිටුනා කර්‍මවිඥානය සංස්කාර අරමුණු කොට සංස්කාර පිහිට කොට සිටුනේ ද, තෘෂ්ණායෙන් තෙත්වූයේ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙයි.
මහණෙනි, යමෙක් “මම රූපය හැර, වේදනාව හැර, සංඥාව හැර සංස්කාරයන් හැර කර්‍මවිඥානයාගේ ඊම හෝ යෑම හෝ චුතිය හෝ උප්පත්තිය හෝ වැඩීම හෝ නැගීම හෝ පැතිරීම හෝ පනවන්නෙමි” යි කියා නම් තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
මහණෙනි, ඉදින් රූපධාතුව පිළිබඳ රාගය මහණහට ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, කර්‍මවිඥානයාගෙන් පිහිටීමෙක් නො වෙයි. මහණෙනි, ඉදින් මහණහට වේදනා ධාතුව පිළිබඳ ... මහණෙනි, ඉදින් මහණහට සංඥාධාතුව පිළිබඳ ... මහණෙනි, ඉදින් මහණහට සංස්කාර ධාතුව පිළිබඳ ... මහණෙනි, ඉදින් මහණහට විඥානධාතුව පිළිබඳ රාගය ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි. කර්‍මවිඥානයාගෙන් පිහිටීමෙක් නො වෙයි. නො පිහිටි එ විඥානය විරූඪියට නො පැමිණියේ ප්‍රතිසන්‍ධිය අභිසංස්කරණය නො කොට මිදුණේ වෙයි, විමුක්ත හෙයින් ස්ථිති වෙයි, ස්ථිති හෙයින් සන්තුෂ්ට වෙයි, සන්තුෂ්ට හෙයින් ත්‍රස්ත නො වෙයි, ත්‍රස්ත නො වන්නේ තමා කෙරෙහි ම පිරිනිවෙ යි. ජාතිය ක්‍ෂය වී යැ, බඹසර වැස නිමවිණැ, කරණී කරන ලද, තෙල අනුපාදාපරිනිර්‍වාණය පිණිස කළ යුතු අන්කිසෙක් නැති යි නුවණින් දනි යි.