1. 2. 5. 10.
අනිච්චසඤ්ඤා සූත්රය
102. සැවැත්නුවර:
මහණෙනි, භාවිත වූ බහුලීකෘත වූ අනිච්චසඤ්ඤාව සියලු කාමරාගය ගෙවයි. සියලු රූපරාගය ගෙවයි. සියලු භවරාගය ගෙවයි. සියලු අවිද්යාව ගෙවයි. සියලු අස්මිමානය ගෙවයි, නසයි.
මහණෙනි, යම්සේ ගොවියෙක් සරත්කල මහනගුලෙන් සාන්නේ පැතිර සිටි සියලු මුල් සිඳිමින් සා ද, මහණෙනි, එසෙයින් ම අනිච්චසඤ්ඤාව වඩනා ලද්දී බහුල කරන ලද්දී සියලු කාමරාගය ගෙවයි. සියලු රූපරාගය ගෙවයි. සියලු භවරාගය ගෙවයි. සියලු අවිද්යාව ගෙවයි. සියලු අස්මිමානය ගෙවයි, නසයි.
මහණෙනි, යම්සේ බබුස්තණ කපන්නෙක් බබුස්තණ කපා අගින් ගෙන යටට සලා ද, පොළා ද, පොළා පසෙක දමා ද, මහණෙනි, එසෙයින් ම භාවිත බහුලීකෘත අනිච්චසංඥාව සියලු කාමරාගය ... නසයි.
මහණෙනි, යම්සේ අඹකැනෙක තුවටු සිඳි කල්හි එහි යම් තුවටුයෙහි බැඳුණු අඹ වේ නම් ඒ සියල්ල එය අනුව පවත්නේ (පතනය) වේ ද මහණෙනි, එසෙයින් ම ... නසයි. භාවිත බහුලීකෘත අනිත්යසංඥාව සියලු කාමරාගය ... නසයි.
මහණෙනි, කුළුගෙයක යම්කිසි ගොනැස්හු වෙද්ද ඒ සියල්ලෝ කැණිමඩලට ගියාහු කැණිමඩලට නැමුණාහු කැණිමඩල අනුව පැතිර සිටියාහු වෙත් ද කැණිමඩල ඔවුන්ට අග්ර යයි කියනු ලැබෙයි. මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.
මහණෙනි, යම්සේ යම් කිසි මුලගන්ධයෝ වෙද්ද? කළුඅගිල්ගඳ ඔවුන්ට අග්ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.
මහණෙනි, යම්සේ යම් කිසි හරගඳහු වෙද්ද? රත්සඳුන් ඔවුන්ට අග්ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.
මහණෙනි, යම්සේ යම් කිසි මල්ගඳහු වෙද්ද? දෑසමන් ඔවුන්ට අග්ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.
මහණෙනි, යම්සේ යම් කිසි කුඩා රජහු වෙද්ද? ඒ සියල්ලෝ සක්විති රජුට අනුකූල වූවාහු වෙත, සක්විතිරජ ඔවුන්ට අග්ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.
මහණෙනි, යම්සේ තාරක රූපයන්ගේ යම්කිසි කැලුම් වේ ද ඒ සියලු කැලුම් සඳ කැලුම්හි සොළොස් වන කලාවත් නො අගි ද, සඳ කැලුම් ඔවුන්ට අග්ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.