1. 2. 5. 8.
දුතිය ගද්දුලබද්ධ සූත්රය
100. සැවැත්නුවර:
මහණෙනි, මෙ සසර අනවරාග්ර යැ. අවිද්යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරන සතුන්ගේ මුල් කෙළවර නො පැනෙයි. මහණෙනි, යම් සේ බලුදමින් බැඳුණු ශුනකයෙක් දැඩි හුලෙක හෝ ටැඹෙක බඳනා ලද්දේ ද, ඉදින් හේ යේ නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟට යෙයි. ඉදින් සිටී නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟ සිටියි. ඉදින් හිඳී නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟ හිඳියි. ඉදින් ලගී නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟ ලගියි.
මහණෙනි, එලෙසින් ම අශ්රැතවත් පෘථජ්ජන තෙමේ රූපය “තෙල මාගේ ය. තෙල මම වෙමි. තෙල මාගේ ආත්ම ය යි දකී. වේදනාව තෙල මාගේ යැ ... සංඥාව තෙල මාගේ යැ ... සංස්කාර තෙල මාගේ යැ ... විඥානය තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යයි දකියි.” හේ ඉදින් යේ නම් මේ පඤ්චෝපාදාන ස්කන්ධ වෙත මැ යෙයි, ඉදින් සිටී නම් මේ පඤ්චෝපාදාන ස්කන්ධ වෙත මැ සිටියි, ඉදින් හිඳී නම් මේ පඤ්චෝපාදාන ස්කන්ධ වෙත මැ ඉඳියි, ඉදින් හොවී නම් මේ පඤ්චෝපාදාන ස්කන්ධය වෙත මැ හොවී.
මහණෙනි, එ හෙයින් මහණහු විසින් “මේ සිත දිගුකලක් මුළුල්ලෙහි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සකිලිටි ය” යි සිය සිත නිතර පස්විකිය යුතු යි. මහණෙනි, සිත සකෙලෙස් වීමෙන් සත්ත්වයෝ කෙලෙසෙති. සිත පිරිසිදු වීමෙන් සත්ත්වයෝ පිරිසිදු වෙති. මහණෙනි, තොප විසින් චරණ නම් චිත්රය දක්නා ලද ද?
වහන්ස, එසේ යැ.
මහණෙනි, ඒ චරණචිත්රය ද සිතින් ම විසිතුරු කරණ ලද යැ. මහණෙනි, ඒ චරණ චිත්රයට ද වඩා සිත ම ඉතා විසිතුරු යි. මහණෙනි, එ හෙයින් මෙහි ලා මහණහු විසින් “මේ සිත දිගුකලක් මුළුල්ලෙහි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සකිලිටි ය” යි නිතොර සිය සිත පස්විකිය යුතු යැ. මහණෙනි, සිත සකිලිටි වීමෙන් සත්ත්වයෝ කෙලෙසෙති. සිත පිරිසිදු වීමෙන් සත්ත්වයෝ පිරිසිදු වෙත්.
මහණෙනි, මේ තිරිසන්ගත ප්රාණීහු යම් බඳු වෙත් ද මහණෙනි, එසේ විසිතුරු වූ අන් එක ද සමූහයක් මම නො දකිමි. මහණෙනි, ඒ තිරිසන්ගත ප්රාණීහු ද සිතින් ම විසිතුරු වූහ. මහණෙනි, ඒ තිරිසන්ගත ප්රාණීන්ට ද වඩා සිත ම ඉතා විසිතුරු යැ. මහණෙනි, එ හෙයින් මෙහි ලා මහණහු විසින් “මේ සිත දිගුකලක් මුළුල්ලෙහි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සකිලිටි ය” යි නිතොර සිය සිත පස්විකිය යුතු යැ. මහණෙනි, කෙලෙසීමෙන් සත්ත්වයෝ කෙලෙසෙති. සිත පිරිසිදු වීමෙන් සත්ත්වයෝ පිරිසිදු වෙත්.
මහණෙනි, යම්සේ, රජකයෙක් වේවයි, සිත්තරෙක් වේවයි, රඳන් හෝ ලතු හෝ රන්වන් පැහැය හෝ නිල්පැහැය හෝ මදට හෝ ඇති කල්හි මැනවින් මට වූ පුවරුවෙක හෝ බිතෙක හෝ රෙදිපිටෙක හෝ සියලු අඟපසඟ ඇති ඉතිරි රුවක් වේවයි පුරුෂ රුවක් වේවයි මවන්නේද? මහණෙනි, එසෙයින් මැ අශ්රැතවත් පෘථග්ජන නිපදවන්නේ රූපය මැ නිපදවයි. වේදනාව මැ ... සංඥාව මැ ... සංස්කාර මැ ... නිපදවන්නේ විඥානය ම නිපදවයි.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්ය හෝ වේ ද? අනිත්ය හෝ වේ දැ?යි.
වහන්ස, අනිත්ය ය. ...
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්ය හෝ වේ ද? අනිත්ය හෝ වේ දැ? යි.
වහන්ස, අනිත්ය ය. ...
මහණෙනි එ හෙයින් මෙහි ලා මෙසේ දක්නා ... මේ බැව් පිණිස අන්කිසෙක් නැතැ යි දැනගනී.