1. 2. 5. 7.
ගද්දුලබද්ධ සූත්‍රය
99. සැවැත්නුවර:
මහණෙනි, මෙ සසර අනවරාග්‍ර යැ. අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති භවයෙන් භවයට සංධාවන කරන ච්‍යුති ප්‍රතිසන්‍ධි විසින් සැරිසරන සත්ත්‍වයන්ගේ මුල් කෙළෙවර නො පෙනේ.
මහණෙනි, යම් කලෙක මේ මහමුහුද සිඳේ ද, වියළේ ද, නො වේ ද, එ බඳු කලෙක් වේ ම යැ. මහණෙනි, අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති සංධාවන සංසරණ කරණ සත්ත්‍වයන්ගේ දුක් කෙළවර කිරීමක් මම නො ම කියමි.
මහණෙනි, යම් කලෙක මේ සිනේරු පර්‍වතරාජයා දැවේ ද, වැනසේ ද, නො වේ ද, එ බඳු කලෙක් වේ මැ යැ. මහණෙනි, අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරන සත්ත්‍වයන්ගේ දුක කෙළවර කිරීමක් මම නො මැ කියමි.
මහණෙනි, යම් කලෙක මේ මහපොළොව දැවේ ද, වැනසේ ද, නො වේ ද, එ බඳු කලෙක් වේ ම යැ. මහණෙනි, අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරන සත්ත්‍වයන්ගේ දුක කෙළවර කිරීමක් මම නො මැ කියමි.
මහණෙනි, බලුදමින් බැඳුණු ශුනකයෙක් දැඩි හුලෙක හෝ ටැඹෙක බඳනා ලද්දේ යම්සේ ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ වටාගෙන අනුව දිවේ ද, අනුව පෙරළේ ද, මහණෙනි, එසෙයින් මැ ආර්‍ය්‍යයන් නොදක්නා ආර්‍ය ධර්‍මයෙහි අදක්‍ෂ ආර්‍ය ධර්‍මයෙහි නොහික්මුණු සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි නොහික්මුණු අශ්‍රැතවත් පෘථජ්ජන තෙමේ රූපය ආත්ම වශයෙන් හෝ ආත්මය රූපවත් කොට හෝ ආත්මයෙහි ලා රූපය හෝ රූපයෙහි ලා ආත්මය හෝ දකියි.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ආත්මය වශයෙන් හෝ ආත්මය විඥානවත්ය යි හෝ ආත්මයෙහි විඥානය ඇතැ යි හෝ විඥානයෙහි ආත්මය ඇතැ යි හෝ දකියි. හේ රූපය මැ අනුව දිවෙයි. රූපය මැ අනුව පෙරළෙයි. වේදනාව ම අනුව දිවෙයි. වේදනාව ම අනුව පෙරළෙයි. සංඥාව ම අනුව දිවෙයි. සංඥාව ම අනුව පෙරළෙයි. සංස්කාර මැ අනුව දිවෙයි. සංස්කාර මැ අනුව පෙරළෙයි. විඥානය මැ අනුව දිවෙයි. විඥානය මැ අනුව පෙරළේ.
හේ රූපය අනුව දිවෙන්නේ අනුව පෙරළෙන්නේ වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනුව දිවෙන්නේ අනුව පෙරළෙන්නේ රූපයෙන් නො මිදෙයි, වේදනාවෙන් නො මිදෙයි, සංඥාවෙන් නො මිදෙයි, සංස්කාරයන් ගෙන් නො මිදෙයි, විඥානයෙන් නො මිදෙයි. ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් කායික දුකෙන් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදෙයි. (පස්කඳ) දුකින් නො මිදේ යයි කියමි.
මහණෙනි, ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මුණු සත්පුරුෂයන් දක්නා සත්පුරුෂ ධර්‍මයෙහි දක්‍ෂ සත්පුරුෂ ධර්‍මයෙහි හික්මුණු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්මය වශයෙන් නො දකියි, ආත්මය රූප ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි රූපය ඇතැයි හෝ නො දකියි, රූපයෙහි ආත්මය ඇතැ යි හෝ නො දකියි. වේදනාව ... නො දකියි, සංඥාව ... නො දකියි. සංස්කාර ... නො දකියි, විඥානය ආත්මය වශයෙන් නො දකියි, ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි විඥානය ඇතැ යි හෝ නො දකියි. විඥානයෙහි ආත්මය ඇතැ යි හෝ නො දකී.
හේ රූපය අනුව නො දිවෙයි, නො පෙරළෙයි. වේදනාව අනුව නො දිවෙයි, නො පෙරළෙයි. සංඥාව ... සංස්කාරයන් අනුව නො දිවෙයි, නො පෙරළෙයි. විඥානය අනුව නො දිවෙයි, නො පෙරළෙයි.
හේ රූපය අනුව නො දිවෙන්නේ නො පෙරළෙන්නේ වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනුව නො දිවෙන්නේ අනුව නො පෙරළෙන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන් ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි, ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් කායික දුකෙන් දොම්නසින් දැඩි ආයාසයෙන් මිදෙයි. (පස්කඳ) දුකින් මිදේ යයි කියමි.
1. 2. 5. 8.
දුතිය ගද්දුලබද්ධ සූත්‍රය
100. සැවැත්නුවර:
මහණෙනි, මෙ සසර අනවරාග්‍ර යැ. අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරන සතුන්ගේ මුල් කෙළවර නො පැනෙයි. මහණෙනි, යම් සේ බලුදමින් බැඳුණු ශුනකයෙක් දැඩි හුලෙක හෝ ටැඹෙක බඳනා ලද්දේ ද, ඉදින් හේ යේ නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟට යෙයි. ඉදින් සිටී නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟ සිටියි. ඉදින් හිඳී නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟ හිඳියි. ඉදින් ලගී නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟ ලගියි.
මහණෙනි, එලෙසින් ම අශ්‍රැතවත් පෘථජ්ජන තෙමේ රූපය “තෙල මාගේ ය. තෙල මම වෙමි. තෙල මාගේ ආත්ම ය යි දකී. වේදනාව තෙල මාගේ යැ ... සංඥාව තෙල මාගේ යැ ... සංස්කාර තෙල මාගේ යැ ... විඥානය තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යයි දකියි.” හේ ඉදින් යේ නම් මේ පඤ්චෝපාදාන ස්කන්‍ධ වෙත මැ යෙයි, ඉදින් සිටී නම් මේ පඤ්චෝපාදාන ස්කන්‍ධ වෙත මැ සිටියි, ඉදින් හිඳී නම් මේ පඤ්චෝපාදාන ස්කන්‍ධ වෙත මැ ඉඳියි, ඉදින් හොවී නම් මේ පඤ්චෝපාදාන ස්කන්‍ධය වෙත මැ හොවී.