1. 2. 5. 5.
නඛසිඛොපම සූත්‍රය
97. සැවැත්නුවර:
එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය:
වහන්ස, යම් රූපයෙක් නිත්‍ය ද ධ්‍රැව ද ශාශ්වත ද නොවෙනස් වන ස්වභාව ඇත්තේ ද ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ ද එබඳු කිසි රූපයෙක් ඇද්දැ? වහන්ස ... කිසි වේදනාවක් ඇද්ද? වහන්ස ... කිසි සංඥාවක් ඇද්ද? වහන්ස ... කිසි සංස්කාර කෙනෙක් ඇද්ද? වහන්ස, යම් විඥානයෙක් නිත්‍ය ද ධ්‍රැව ද ශාශ්වත ද නොවෙනස් වන ස්වභාව ඇත්තේ ද ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ ද එබඳු කිසි විඥානයෙක් ඇද්දැ” යි.
මහණ, යම් රූපයෙක් නිත්‍ය ද ධ්‍රැව ද ශාශ්වත ද නොවෙනස් වන ස්වභාව ඇත්තේ ද ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ ද එබඳු කිසි රූපයෙක් නැත් ම යැ, මහණ, ... කිසි වේදනාවක් නැත්ම යැ, මහණ, ... කිසි සංඥාවක් නැත් ම යැ, මහණ, ... කිසි සංස්කාර කෙනෙක් නැත් ම යැ, මහණ, යම් විඥානයෙක් නිත්‍ය ද ධ්‍රැව ද ශාශ්වත ද නොවෙනස් වන ස්වභාව ඇත්තේ ද ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ ද එබඳු කිසි විඥානයෙක් නැත් මැ යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පස් බිඳක් නියසිළෙහි නගා ඒ මහණහට තෙල වදාළ සේක: මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ පෙරළෙන සැහැවි ඇති ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද රූපයෙක් නැත. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ පෙරළෙන සැහැවි ඇති ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද රූපයෙක් ඉදින් වී නම් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසරවිසුම නො පැනෙන්නේ යැ. මහණ, යම් හෙයෙකින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොපෙරළෙන සැහැවි ඇති මෙ පමණ වූ ද රූපයෙක් නැද්ද, ඒ හෙයින් මැනවින් දුක් ගෙවීම පිණිස බඹසරවිසුම පැනේ. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද වේදනාවක් නැත. මහණ, ඉදින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද වේදනාවක් වී නම් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසරවිසුම නො පැනෙන්නේ ය. මහණ, යම් හෙයකින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද වේදනාවක් නැද්ද, එ හෙයින් මොනොවට දුක් ගෙවීම පිණිස බඹසර විසුම පැනෙයි. මහණ, මෙ පමණ වූ ද සංඥාවක් නැත. ... මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති ශාශ්වත වස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද සංස්කාරකෙනෙක් නැත. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද සංස්කාර කෙනෙක් ඉදින් වූහු නම් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසරවිසුම නො පැනෙන්නේ යැ. මහණ, යම් හෙයකින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ
නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද සංස්කාර කෙනෙක් නැත්තාහු ද එහෙයින් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම පැනෙයි. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද විඥානයෙක් නැත. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද විඥානයෙක් ඉදින් වී නම් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම නො පැනෙන්නේ යැ. මහණ, යම් හෙයකින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද විඥානයෙක් නැද්ද, එ හෙයින් මැනවින් දුක් ගෙවීම පිණිස බඹසර විසුම පැනේ.
මහණ, ඒ කිමැ යි හඟිහි ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි.
වහන්ස, අනිත්‍ය ය.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි.
වහන්ස, අනිත්‍ය ය.
මහණ, එ හෙයින් මෙහිලා ... මහණ, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ... මේ බැව් පිණිස අනෙකක් නැතැ”යි දැනගනී යි.
1. 2. 5. 6.
සුද්ධික සූත්‍රය
98. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ ය:
වහන්ස, යම් රූපයෙක් නිත්‍ය නම් ධ්‍රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත්තේ නම් ශාශ්වත් වස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එ බඳු කිසි රූපයෙක් ඇද්ද? වහන්ස, ... කිසි වේදනාවක් ඇද්ද? වහන්ස, ... කිසි සංඥාවක් ඇද්ද? වහන්ස, ... කිසි සංස්කාර කෙනෙක් ඇත්තාහු ද? වහන්ස, යම් විඥානයෙක් නිත්‍ය නම් ධ්‍රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත් නම් ශාශ්වත් වස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එ බඳු කිසි විඥානයෙක් ඇද්දැ?” යි.
මහණ, යම් රූපයෙක් නිත්‍ය නම් ධ්‍රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත්තේ නම් ශාශ්වත් වස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එ බඳු කිසි රූපයෙක් නැත් ම යැ.
මහණ, ... කිසි වේදනාවක් නැත් ම ය. කිසි සංඥාවක් ... කිසි සංස්කාර කෙනෙක් ... මහණ, යම් විඥානයෙක් නිත්‍ය නම් ධ්‍රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත් නම් ශාශ්වත් වස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එ බඳු කිසි විඥානයෙක් නැත් මැ යි.