1. 2. 5. 4.
ගොමය පිණ්ඩූපම සූත්රය
96. සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ යැ, එකත්පසෙක හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය:
“වහන්ස, යම් රූපයෙක් නිත්ය වූයේ ධ්රැව වූයේ ශාශ්වත වූයේ නො පෙරළෙන සැහැවි ඇත්තේ ශාශ්වතවස්තු හා සම වූයේ එසේ ම සිටුනේ නම් එබඳු කිසි රූපයෙක් ඇද්දැ? වහන්ස, යම් වේදනාවක් නිත්ය ද, ධ්රැව ද, ශාශ්වත ද, නො පෙරළෙන සැහැවි ඇත් ද, ශාශ්වත වස්තූන් හ සම ව එසේ ම සිටියි නම් එ බඳු කිසියම් වේදනාවක් ඇද්ද? වහන්ස, යම් සංඥාවක් ... එ බඳු කිසියම් සංඥාවක් ඇද්ද? වහන්ස, යම් සංස්කාර කෙනෙක් නිත්ය ද, ධ්රැව ද, ශාශ්වත ද, නො පෙරළෙන සැහැවි ඇත් ද, ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටිත් නම් එ බඳු කිසියම් සංස්කාර කෙනෙක් ඇද්ද? වහන්ස, යම් විඥානයෙක් නිත්ය ද, ධ්රැව ද, ශාශ්වත ද, නො පෙරළෙන සැහැවි ඇත් ද, ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එ බඳු කිසියම් විඥානයක් ඇද්දැ” යි.
මහණ, යම් කිසි රූපයෙක් නිත්ය නම් ධ්රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත්තේ නම් ශාශ්වත වස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එබඳු කිසි රූපයෙක් නැත් මැ යැ, මහණ, ... කිසි වේදනාවක් නැත් මැ යැ, කිසි සංඥාවක් ... කිසි සංස්කාර කෙනෙක් ... මහණ, යම් විඥානයෙක් නිත්ය නම් ධ්රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත්තේ නම් ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එබඳු කිසි විඥානයෙක් නැත් මැ යි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ අල්ප වූ ගොමපිඩක් අතින් ගෙන ඒ මහණහට මෙය වදාළ සේක: මහණ, නිත්ය වූ ධ්රැව වූ ශාශ්වත වූ නො පෙරළෙන සැහැවි ඇති මෙ පමණ වූද ලබන ලද අත්බවෙක් නැත. මහණ, ඉඳින් නිත්ය වූ ධ්රැව වූ ශාශ්වත වූ නො පෙරළෙන සැහැවි ඇති මෙ පමණ වූද පිළිලද අත්බවෙක් වී නම් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම නො පැනෙන්නේ යැ. මහණ, යම් හෙයකින් නිත්ය වූ ධ්රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙ පමණ වූ ද අත් බැව් පිළිලැබීමෙක් නැද්ද, එ හෙයින් මොනොවට දුක් ගෙවීම පිණිස බඹසර විසුම පැනේ.
මහණ, පෙර වූවක් කියමි: මම මුදුන්හි අභිෂේක කළ කැත්රජෙක් වීමි. මහණ, මුදුන්හි අභිෂේක කැත්රජකු වූ ඒ මට කුසාවතී රාජධානිය ප්රමුඛ කොට ඇති නගරයෝ සුවාසූ දහසක් වූහ.
මහණ, මුදුන්හි අභිෂේක කැත්රජකු වූ ඒ මට දහම්පහස ප්රමුඛ කොට ඇති ප්රාසාදයෝ සුවාසුදහසක් වූහ.
මහණ, මුදුන්හි අබිසෙක් කළ කැත්රජකු වූ ඒ මට මහාව්යුහ කුළුගෙය ප්රමුඛ කොට ඇති කුළුගෙවල් සුවාසුදහසක් විය.
මහණ, මුදුන්හි බිසෙස් කළ කැත්රජකු වූ ඒ මට දළමුවා වූ ද හරමුවා වී ද රන්මුවා වූ ද රිදීමුවා වූ ද කොඳුපලස් අතුරන ලද්දාවූ ද දෙපස එළුලොම්මුවා සුදු කම්බිලි අතුරන ලද්දාවූ ද ගනපුප් එළුලොම්මුවා අතුරුණු අතුරන ලද්දාවූ ද කෙසෙල්මුවසමින් කළ උතුම් පසතුරුණු ඇති උඩුවියන් සහිත වූ දෙපස රත් කන්වයින් ඇති පලඟහු සුවාසුදහසක් වූහ.
මහණ, මුදුන්හි අභිෂික්ත කැත්රජකු වූ ඒ මට රන් අබරණ ඇති රන් දද ඇති රන්දැලින් වැසුණු උපෝසථ ඇත්රජ ප්රමුඛ කොට ඇති ඇත්හු සුවාසුදහසක් වූහ.
මහණ, මුදුන්හි අභිෂේක කළ කැත්රජකු වූ ඒ මට රන් අබරණ ඇති රන් දද ඇති රන්දැලින් වැසුණු වලාහක අස්රජ ප්රමුඛ කොට ඇති අස්හු සුවාසුදහසක් වූහ.
මහණ, මුදුන්හි, අභිෂේක කරන ලද කැත්රජකු වූ ඒ මට රන් අබරණ ඇති රන් දද ඇති රන්දැලින් වැසුණු විජයොත් රිය ප්රමුඛ කොට ඇති රියහු සුවාසුදහසක් වූහ.
මහණ, මුදුන්හි අභිෂේක කැත්රජකු වූ ඒ මට මිණිරුවන් ප්රමුඛ කොට ඇති මාණික්යයෝ සුවාසුදහසක් වූහ.
මහණ, මුදුන්හි අභිෂේක කැත්රජකු වූ ඒ මට සුභද්රා දේවිය ප්රමුඛ කොට ඇති ස්ත්රීහු සුවාසුදහසක් වූහ.
මහණ, මුදුන්හි අභිෂික්ත කැත්රජකු වූ ඒ මට අනුගත පරිණායක රත්නය ප්රමුඛ කොට ඇති කැත්රජහු සුවාසුදහසක් වූහ.