1. 2. 5. 3.
ඵෙණ පිණ්ඩූපම සූත්‍රය
95. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ අයෝධ්‍යා නගර සමීපයෙහි ගංගා නම් ගංඉවුරෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, යම්සේ මේ “ගංගා” නදිය මහත් පෙණපිඩක් එළවන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල පෙණපිඩ දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පිරික්සන්නේ ය. දක්නා, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ ය. බොල් වූවක් සේ ම වැටහෙන්නේ ය. හර නැත්තක් සේ ම වැටහෙන්නේ ය. මහණෙනි, කිම, පෙණපිඩෙහි හරයක් වන්නේ ද?
මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න ආධ්‍යාත්මිකවූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙයි. බොල් වූවක් සේ ම වැටහෙයි. හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි කිම, රූපයෙහි හරයක් වන්නේ ද?
මහණෙනි, යම්සේ සරත්කල මහත් පොද ඇති වැස්ස වස්නා කල්හි දියෙහි දිය බුබුළෙක් හටගන්නේත් වේ ද, නැසෙන්නේත් වේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල දිය බුබුළ දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පුනපුනා පිරික්සන්නේ ය. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ යැ. බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ. හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. මහණෙනි, කිම, දිය බුබුළෙහි හරයක් වන්නේ ද?
මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න ආධ්‍යාත්මිකවූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි වේදනාවක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් වේදනාවකුත් ඇත් ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙයි. බොල් වූවක් සේ ම වැටහෙයි. හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි, කිම, වේදනායෙහි සාරයක් ඇත්තේ ද?
මහණෙනි, යම්සේ ගිම්කල පැසුළුමස මධ්‍යාහ්නයෙහි මිරිඟු සැලේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල මිරිඟුව දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පිරික්සන්නේ යැ. බලන, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේම වැටහෙන්නේ යැ. බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. මහණෙනි, කිම, මිරිඟුවෙහි හරයක් වන්නේ ද?
මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න ... යම් කිසි සංඥාවක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් සංඥාවකුත් ඇත් ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙයි. බොල් වූවක් සේ ම වැටහෙයි. හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි, කිම, සංඥායෙහි හරයක් වන්නේ ද?