1. 2. 4. 8.
ඡන්න සූත්‍රය
90. එක් කලෙක බොහෝ ස්ථවිර භික්‍ෂූහු බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. එ කල්හි ආයුෂ්මත් ඡන්න (ස්ථවිර) සවස්කල විවේකයෙන් නැගී සිටියේ යතුර රැගෙන වෙහෙරින් වෙහෙරට
එළඹැ ස්ථවිර භික්‍ෂුන්ට තෙල කීය: යම් සේ මම දහම් දක්නෙම් නම් එ පරිද්දෙන් ආයුෂ්මත් තෙරහු මට අවවාද කෙරෙත්වා. ආයුෂ්මත් තෙරහු මට අනුශාසන කෙරෙත් වා. ආයුෂ්මත් තෙරහු මට දැහැමි කතා කෙරෙත්වා” යි.
මෙසේ කී කල්හි ස්ථවිර භික්‍ෂූහු ආයුෂ්මත් ඡන්නහට තෙල කීහු: “ඇවැත්නි, ඡන්නනි, රූපය අනිත්‍ය යැ, වේදනාව අනිත්‍ය යැ, සංඥාව අනිත්‍ය යැ, සංස්කාරයෝ අනිතයහ, විඥානය අනිත්‍ය යි. රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාර අනාත්ම යැ, විඥානය අනාත්ම යි. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. සියලු ධර්‍මයෝ අනාත්මයහ” යි.
එ කල්හි ආයුෂ්මත් ඡන්නහට තෙල සිත විය: “මට ද තෙල මෙසේ වෙයි. රූපය අනිත්‍ය යැ, වේදනාව අනිත්‍ය යැ, සංඥාව අනිත්‍ය යැ, සංස්කාර අනිත්‍ය යැ, විඥානය අනිත්‍ය යි. රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාර අනාත්ම යැ, විඥානය අනාත්ම යි. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. සියලු ධර්‍මයෝ අනාත්මයහ”යි. වැලි දු මාගේ සිත සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම වූ සියලු උපධීන්ගේ දුරලීම වූ තෘෂ්ණායෙහි ක්‍ෂය කිරීම වූ නො ඇලීම වූ නැවැත්ම වූ නිවනෙහි නො වැද ගනියි, නො පහදියි, නො සිටියි, නො බැඳෙයි, තැතිගැනුම ද දැඩි කොට ගැනුම ද උපදියි. වැලි කුමක් මාගේ ආත්මය දැ යි මා සිත පෙරළා එයි, දහම් දක්නහුට එසේ නො වෙයි, යම්සේ මම දහම් දක්නෙම් නම් එසෙයින් කවුරු නම් මට දහම් දෙසත් දැ”යි.
එ කල්හි ආයුෂ්මත් ඡන්නහට තෙල සිත විය: “ශාස්තෘන් වහන්සේ විසින් වර්‍ණනා කරණ ලද, නුවණැති සබ්‍රම්සරුන් විසින් බුහුමන් කරණ ලද මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. යම්සේ මම දහම් දක්නෙම් නම් එ පරිද්දෙන් මට දහම් දෙසන්නට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පොහොසත් ද වෙති. ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කෙරෙහි එ පමණ විශ්වාසයක් ද මට ඇත්තේ ය. මම ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වෙත එළැඹෙන්නෙම් නම් මැනැවැ”යි.
ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිර සෙනසුන් සකසා තබා පා සිවුරු ගෙන කෝසබෑ නුවර ඝෝසිතාරාමරෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වෙත් එළැඹියේ ය. එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේ යැ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ඡන්න ස්ථවිර ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කීය: ඇවැත්නි, ආනන්‍දයෙනි, මම එක්කලෙක මේ බරණැස්නුවර සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වෙසෙමි. ඇවැත්නි, එ කල්හි මම සවස්කල විවේකයෙන් නැගීසිටියෙම් යතුර රැගෙන වෙහෙරින් වෙහෙරට එළැඹියෙමි. එළැඹැ ස්ථවිර භික්‍ෂුන්ට තෙල කීයෙමි: “යම් සේ මම දහම් දක්නෙම් නම් ආයුෂ්මත් තෙරහු මට එසේ අවවාද කෙරෙත්වා. ආයුෂ්මත් තෙරහු මට අනුශාසන කෙරෙත් වා. ආයුෂ්මත් තෙරහු මට දැහැමි කතා කෙරෙත්වා”යි.
ඇවැත්නි, මෙසේ කී කල්හි ස්ථවිර භික්‍ෂූහු මට ඡන්නහට තෙල කීහු: “ඇවැත්නි, ඡන්නයෙනි, රූපය අනිත්‍ය යැ, වේදනාව අනිත්‍ය යැ සංඥාව අනිත්‍ය යැ, සංස්කාර අනිත්‍ය යැ, විඥානය අනිත්‍ය යි. රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාර අනාත්ම යැ, විඥානය අනාත්ම යි. සියලු සංස්කාරයෝ අනිතයහ. සියලු ධර්‍මයෝ අනාත්මයහ”යි.