4. ථේර වර්ගය
1. 2. 4. 1.
ආනන්ද සූත්රය
83. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එහි දී ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ “ඇවැත්නි, මහණෙනි” යි භික්ෂූන් ඇමතූහ. ඒ භික්ෂූහු “ඇවැත්නි”යි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ මෙය වදාළහ: ඇවැත්නි, මන්නානීපුත්ර ආයුෂ්මත් පුණ්ණ නම් තෙරණුවෝ නවක වූ ම අපට බොහෝ උපකාර වෙති. උන් වහන්සේ මේ අවවාදයෙන් අපට අවවාද කෙරෙති:
“ඇවැත්නි, ආනන්දයෙනි (මම්) වෙමි”යි (හැඟීම තෘෂ්ණා දෘෂ්ටි මාන ප්රපඤ්ච තුන) නිසා වේ යි. නො නිසා නො වේ. කුමක් නිසා (මම්) වෙමි”යි වේ යැ නො නිසා නො වේ යැ යත්: රූපය නිසා (මම්) වෙමියි වෙයි, නො නිසා නො වෙයි, වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිසා වෙමි” යි වෙයි, නො නිසා නො වේ. ඇවැත්නි, ආනන්දයෙනි, යම්සේ සැරසෙනසුලු යොවුන් ස්ත්රියක් හෝ පුරුෂයෙක් හෝ සුපිරිසිදු පැහැපත් කැඩපතෙක හෝ පහන් දියබඳුනෙක හෝ සිය මුවනිමිත්ත බලන්නේ නිසා දක්නේ වේ ද, නො නිසා නො දක්නේ වේ ද, ඇවැත්නි, ආනන්දයෙනි, එ සෙයින් ම රූපය නිසා වෙමි”යි වෙයි, නො නිසා නො වෙයි, වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිසා වෙමි” යි වෙයි, නො නිසා නො වේ.
ඇවැත්නි ආනන්දයෙනි, ඒ කිමැ යි හඟිවුද? රූපය නිත්ය හෝ වේද, අනිත්ය හෝ වේද? ඇවැත්නි, අනිත්ය යැ. යමෙක් අනිත්ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි? ඇවැත්නි, දුක් යැ. යමෙක් අනිත්ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යි දක්නට යුතු ද? ඇවැත්නි, තෙල යුතු නො වේ මැ යි.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්ය හෝ වේද, අනිත්ය හෝ වේද? ඇවැත්නි, අනිත්ය යැ. යමෙක් අනිත්ය නම් එය දුක් හෝ වේද, සුව හෝ වේ වේද? ඇවැත්නි, දුක් යැ. යමෙක් අනිත්ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය තෙල මාගේ යැ තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යි දක්නට යුතු ද? ඇවැත්නි, තෙල යුතු නො වේ මැ යි.
ඇවැත්නි, ආනන්දයෙනි , එහෙයින් අතිතානගත පච්චුප්පන්න වූ ආධ්යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්ෂ්ම වේවයි හීන වේවයි ප්රණීත වේවයි යම් කිසි රූපයෙක් වේ ද, දුර වේවයි ළඟ වේවයි යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නොවේය”යි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක්කයුතු. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීතානාගත පච්චුප්පන්න වූ ආධ්යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්ෂ්ම වේවයි හීන වේවයි ප්රණීත වේවයි යම් කිසි විඥානයෙක් වේ ද, දුර වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් වේ ද, ඒ සියලු විඥානය තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නොවේය”යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දැක්කයුතු.
ඇවැත්නි, ආනන්දයෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක රුපයෙහිත් කලකිරෙයි, වේදනායෙහිත් කලකිරෙයි, සංඥායෙහිත් කලකිරෙයි, සංස්කාරයන්හිත් කලකිරෙයි, විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලීම හේතුයෙන් මිදෙයි. ... මේ රහත් බව පිණිස අනෙකෙක් නැත යි දැනගනි”යි.
ඇවැත්නි, මන්තානිපුත්ර ආයුෂ්මත් පුණ්ණ නම් තෙරණුවෝ නවක වූ ම අපට බොහෝ උපකාර ඇත්තෝ වෙති. උන් වහන්සේ මේ අවවාදයෙන් අපට අවවාද දෙති. මන්තානිපුත්ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවන්ගේ මේ දහම් දෙසුම අසා මාවිසින් දහම් අවබෝධ කරණ ලද්දේ යි. (සෝතාපන්න වීමි යන අදහසි)
1. 2. 4. 2.
තිස්ස සූත්රය
84. සැවැත්නුවර:
එ කල්හි භාග්යවතුන් වහන්සේගේ නැන්දණියගේ (පියාගේ සහෝදරියගේ) පුත් ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ බොහෝ භික්ෂුන්ට මෙසේ කියති: “ඇවැත්නි, මාගේ කයත් හටගත් බර ඇත්තක් මෙනි. (අකර්මණ්ය ය.) දිශාවෝ ද මට නො පැහැදිලියහ. දහම්හු (පර්ය්යාප්තිධර්මයෝ) ද මට නො වැටහෙත්. ථිනමිද්දයත් මාගේ සිත මැඩගෙන සිටියි, නො ඇලුණෙම් ම බඹසර සරමි. දහම්හි මට විචිකිච්ඡාවත් වේ” යයි.
එ කල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, භාග්යවතුන් වහන්සේගේ නැන්දණියගේ පුත් ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ බොහෝ භික්ෂුන්ට මෙසේ ආරෝචනා කෙරෙති: “ඇවැත්නි, මාගේ කයත් හටගත් බර ඇත්තක් මෙනි, දිශාවෝත් මට නො පැහැදිලියහ. දහම්හුත් මට නො වැටහෙත්. ථිනමිද්දයත් මාගේ සිත මැඩගෙන ගෙන සිටියි, නො ඇලුණෙම් බඹසර සරමි. දහම්හි මට විචිකිච්ඡාවත් වේ ය” කියා යි.