1. 2. 4. 9.
පළමුවැනි රාහුල සූත්‍රය
91. සැවැත්නුවර:
එ කල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය:
“වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් පිටත සියලු නිමිත්තයන්හිත් අභිංකාර (දිට්ඨි) මමිංකාර ( තණ්හා) මාන යන අනුශය ධර්‍මයෝ නො වෙත් දැ යි”?
රාහුලය, අතීත වූ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය “තෙල මාගේ නොවේ, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යයි මෙසේ සම්‍යක් ප්‍රඥායෙන් තෙල තතු සේ දකියි. යම්කිසි වේදනාවක් ...
යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාරකෙනෙක් ... අතීත වූ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් වේ ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යයි මෙසේ සම්‍යක් ප්‍රඥායෙන් තෙල ඇති සැටි දකියි.
රාහුල, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අභිංකාර මමිංකාර මානානුසයෝ නො වෙති යි.
1. 2. 4. 10.
දෙවැනි රාහුල සූත්‍රය
92. සැවැත්නුවර:
එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය:
“වහන්ස, කෙසේ දන්නාහට කෙසේ දක්නාහට මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අභිංකාර මමිංකාර මානයෙන් වෙන් වූ මාන කොටසුන් ඉක්මවූ සන්හුන් වූ මොනොවට මිදුණු සිත වේ දැ?” යි
රාහුලය, ... යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය “තෙල මාගේ නොවේ, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යයි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත වැ මිදුණේ වෙයි. යම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙකුත් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් වේ ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යයි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුණේ වෙයි.
රාහුලය, මෙසේ දන්නා මෙසේ දක්නා පුද්ගලහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් පිටත සියලු නිමිත්තයන්හිත් අභිඞ්කාර (දිට්ඨි) මමිංකාර (තණ්හා) මානයෙන් වෙන් වූ මාන කොටසුන් ඉක්ම වූ සන්හුන් වූ මැනවින් මිදුණු සිත වේ යි.
සිවුවැනි ථේර වර්‍ග යි.
එහි උදානය:
ආනන්‍ද, තිස්ස, යමක, අනුරාධ, වක්කලි, අස්සජි, ඛේමක, ඡන්න යන සූත්‍ර ද, අනෙක් රාහුල සූත්‍ර දෙක දැ යි සූත්‍ර දශයෙකි.