1. 2. 4. 7.
ඛේමක සූත්‍රය
89. එක්කලෙක බොහෝ වූ ස්ථවිර භික්‍ෂූහු කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙත්. එසමයෙහි ආයුෂ්මත් ඛේමක තෙරණුවෝ හටගත් ආබාධ ඇත්තාහු දුකට පැමිණියාහු දැඩි සේ ගිලන් වූවාහු බදරිකාරාමයෙහි වෙසෙති.
එ කල්හි ස්ථවිර භික්‍ෂූහු සවස්කලැ විවේකයෙන් නැඟී සිටියාහු ආයුෂ්මත් දාසක තෙරුන් ඇමතූහ: “ඇවැත්නි, දාසකයෙනි, එවු. තෙපි ඛේමක තෙරුන් වෙත එළැඹෙවු. එළැඹැ ඛේමක තෙරුනට මෙසේ කියවු. ඇවැත්නි, ඛේමකයෙනි, ස්ථවිර භික්‍ෂූහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, කිම, තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ පිරිහෙද්ද? නො වැඩෙද්ද? මේ දුක් වේදනාවන්ගේ පිරිහීම පෙනේ ද? වැඩීම නො පෙනේ දැ” යි?
ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් දාසක තෙරණුවෝ ස්ථවිර භික්‍ෂුන්ට පිළිතුරු දී ආයුෂ්මත් ඛේමක තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ඛේමක තෙරුන්ට මෙය කීහ: “ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, කිම? තොපට ඉවසිය හැකි ද? කිම? යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ පිරිහෙත් ද? නො වැඩෙත් ද? මේ දුක් වේදනාවන්ගේ පිරිහීම පෙනෙයි ද? වැඩීම නො පෙනේ දැ” යි?
ඇවැත්නි, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්, නො පිරිහෙත්. මේ දුක් වේදනාවන්ගේ වැඩීම පෙනෙයි, පිරිහීම නො පෙනේ යි.
ඉක්බිති ආයුෂ්මත් දාසක තෙරණුවෝ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියහ. එළඹ ස්ථවිර භික්‍ෂුන්ට මෙය කීහ: ඇවැත්නි, ඛේමක භික්‍ෂූ තෙමේ මෙසේ කී ය: ඇවැත්නි, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙති, නො පිරිහෙත්. මේ දුක් වේදනාවන්ගේ වැඩීම පෙනෙයි, පිරිහීම නො පෙනේ යි.
ඇවැත්නි, දාසකයෙනි, එවු. තෙපි ඛේමක භික්‍ෂූහු වෙත එළඹෙවු. එළඹ ඛේමක භික්‍ෂුහට මෙසේ කියවු: “ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ යි. ආයුෂ්මත් ඛේමක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරෙන් කිසිවෙක් ආත්ම යි හෝ ආත්මයට අයත් යි හෝ දකී දැ”යි?
ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්‍ෂුන්ට පිළිතුරු දී ආයුෂ්මත් ඛේමක තෙරුන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් ඛේමක තෙරුන්ට මෙය කී ය: “ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ආයුෂ්මත් ඛේමක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යි හෝ ආත්මයට අයත් යි හෝ දකී දැ”යි?
ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යි හෝ ආත්මයට අයත් යි හෝ මම නො දකිමි යි.
ඉක්බිති ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේය. එළඹ ස්ථවිර භික්‍ෂුන්ට මෙය කී ය: ඇවැත්නි, ඛේමක භික්‍ෂූ තෙමේ මෙසේ කී ය: ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යි හෝ ආත්මයට අයත් ය යි හෝ මම නො දකිමි යි.
ඇවැත්නි, දාසකයෙනි, එවු. තෙපි ඛේමක භික්‍ෂූහු වෙත එළඹෙවු. එළඹ ඛේමක භික්‍ෂුහට මෙසේ කියවු: ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ආයුෂ්මත් ඛේමක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යි හෝ ආත්මයට අයත් යි හෝ ඉදින් නො දකී ද? එසේ වී නම් ආයුෂ්මත් ඛේමක අරහත් ක්‍ෂීණාස්‍රවයෙකැ යි.