1. 2. 4. 4.
අනුරාධ සූත්රය
86. මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහාවනයෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එ සමයෙහි ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට නුදුරෙන් වන කිළියෙකැ වෙසෙති. එකලැ බොහෝ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන් කරා එළැඹියහ. එළැඹ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත් පස්වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන්හට තෙල කීහු:
ඇවැත් අනුරාධයෙනි, උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ පැමිණිය යුතු උතුම් ඵලයට පැමිණ යම් ඒ තථාගත (සත්ත්වයෙක්) වේ ද, ඒ ( තථාගත සංඛහත ) සත්ත්වයා (ඔබගේ ශාස්තෘ වූ) තථාගතයෝ මේ සතර තන්හි ලා පනවන්නාහු පනවත් ද? (කවර සතර තැනෙකැ යත්:) “සත්ත්ව මරණින් මතු වෙයි හෝ, සත්ත්ව මරණින් මතු නො වෙයි හෝ, සත්ත්ව මරණින් මතු වෙයි නො ද වෙයි හෝ, සත්ත්ව මරණින් මතු නො ද වෙයි නො ද නො වෙයි හෝ” යි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ ඒ පිරිවැජ්ජනට තෙල කීහ: ඇවැත්නි, යම් ඒ උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ උතුම් ඵලයට පැමිණි යම් සත්ත්ව වේ ද, (අපගේ ශාස්තෘ වූ) තථාගතයන් වහන්සේ ඒ සත්ත්වයා පනවනසේක් “සත්ත්ව මරණින් මතු වෙයි හෝ, සත්ත්ව මරණින් මතු නො වෙයි හෝ, සත්ත්ව මරණින් මතු වෙයි නො ද වෙයි හෝ, සත්ත්ව මරණින් මතු නො ද වෙයි නො ද නො වෙයි හෝ” යන මේ සතර තැන් හැර පනවති යි.
මෙසේ කී කල්හි ඒ අන්තොටු පිරිවැජියෝ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන්හට තෙල කීහු: “මෙ මහණ නවකයෙක් පැවිදි වැ නො බෝ කල් ඇත්තෙක් වන්නේය, (නැතහොත්) ස්ථවිර වූයේ බාලයෙක් අව්යක්තයෙක් හෝ වන්නේ යි”.
ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට නවකවාදයෙන් බාල වාදයෙන් අවමන් කොට හුනස්නෙන් නැගැ ගියහ. ඉක්බිති ආයුෂ්මත් අනුරාධ තෙරුන්හට ඒ අන්තොටු පිරිවැජ්ජන් බැහැරැ වැ ගිය නොබෝ කල්හි තෙල අදහස විය:
“ඉඳින් ඒ අන්තොටු පිරිවැජ්ජෝ මතුයෙහි මා පැන පුළුවුස්නාහු නම් ඒ අන්තොටු පිරිවැජියනට මම් කෙසේ විසඳා කියන්නෙම් භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද්ද කියන්නෙකිම් වෙම් ද, භාග්යවතුන් වහන්සේට අභූතයෙන් නො ද නුගුණ කියන්නෙකිම් වෙම් ද, ( ලොව්තුරු) දහමට අනුලොම් වූ (පිළිවෙත්) දහමක් පවසන්නෙම් ද, කරුණු සහිත වූ කිසි යම් වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණට නො ද පැමිණේදැ”යි.
ඉක්බිති ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙතැ එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකැත්පස් වැ හුන්හ. එකැත්පස් වැ හුන් ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැලකළහ.
වහන්ස, මම මෙහි භාග්යවතුන් වහන්සේට නුදුරු තැන පන්සලකැ වෙසෙමි. එකල්හි වහන්ස, බොහෝ අන්තොටු පිරිවැජ්ජෝ මා වෙතැ එළැඹියහ. එළැඹ මා සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත් පසෙකැ හුන්හ. එකත් පසෙකැ හුන් ඒ අන්තොටු පිරිවැජියෝ මට තෙල කීහු:
“ඇවැත් අනුරාධයෙනි, උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ පරමප්රාප්තියට පැමිණ යම් ඒ සත්ත්ව වේ ද, ඒ (යුෂ්මත් ශාස්තෘ වූ) තථාගතයෝ ඒ සත්ත්වයා මෙ සතර තන්හි ලා පනවන්නාහු ‘සත්ත්ව මරණින් මතු වෙයි හෝ ... සත්ත්ව මරණින් මතු නො ද වෙයි නො ද නො වෙයි හෝ පනවත්දැ”යි?
මෙසේ කීකල්හි වහන්ස, මම ඒ අන්තොටු පිරිවැජ්ජන්ට තෙල කීමි: “ඇවැත්නි, උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ පරමප්රාප්තියට පැමිණ යම් සත්ත්ව වේ ද, අස්මත් ශාස්තෘ වූ තථාගතයන් වහන්සේ ඒ සත්ත්වයා පනවන්නාහු සත්ත්ව මරණින් මතු වෙයි හෝ ... සත්ත්ව මරණින් මතු නො ද වෙයි නො ද නො වෙයි හෝ යන මේ සතර තැන හැර පනවනසේකැ”යි.
වහන්ස, මෙසේ කීකල්හි ඒ අන්තොටු පිරිවැජ්ජෝ මට තෙල කීහු: “ඒ මේ මහණ නවකයෙක්, පැවිදි වූ නොබෝ කල් ඇත්තෙක් වන්නේය, ස්ථවිර වූයේ බාලයෙක් අව්යක්තයෙක් වන්නේ හෝ යි”.
වහන්ස, ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ නවක වාදයෙනුදු බාලවාදයෙනුදු මට අවමන් කොට හුනස්නෙන් නැගැ ගියහ. වහන්ස, ඒ අන්තොටු පිරිවැජ්ජන් බැහැරැ වැ ගිය නොබෝ කල්හි ඒ මට මේ සිත විය: