1. 2. 4. 5.
වක්කලි සූත්‍රය
87. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එ කල්හි ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ හටගත් ආබාධ ඇත්තාහු දුකට පැමිණියාහු දැඩි සේ ගිලන් වූවාහු කුඹල් කම්හලෙහි වැඩ වෙසෙති.
එ කල්හි ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ උපස්ථායකයන් ඇමතූහ: ඇවැත්නි, එව, තෙපි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹෙ වු. එළැඹැ “වහන්ස වක්කලි මහණ හටගත් ආබාධ ඇත්තේ දුඃඛිත වූයේ දැඩි සේ ගිලන් වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේගේ පා සඟළ හිසින් වඳී යයි මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා සඟළ හිසින් වඳිවු. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස වක්කලි මහණහු වෙත එළඹෙන සේක් නම් මැනැවි යි. මෙසේත් කියවු” යි.
ඇවැත්නි, එසේ යයි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරණුවන්ට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාගවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, වක්කලි මහණ හටගත් ආබාධ ඇත්තේ දුඃඛිත වූයේ දැඩි ගිලන් වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ පා සඟළ හිසින් වඳී, මෙසේත් කිය යි: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස වක්කලි මහණහු වෙත එළඹෙනසේක් නම් මැනැවි” යි. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසූ සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරව පාසිවුරු ගෙන ආයුෂ්මත් වක්කලි තෙරුන් වෙත එළඹිසේක. ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ වඩන භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටහ. දැක ඇඳෙන් නැගී සිටීමට උත්සාහ ධරූහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් වක්කලි තෙරුන්ට තෙල වදාළසේක: “වක්කලි කම් නැත, තෙපි ඇඳෙන් නැගී සිටීමට නහමක් උත්සාහ ධරව. මෙ පනවනලද අසුන් ඇත, මම් එහි හිඳිමි”යි භාග්‍යවතුන් වහන්සේ පැනවූ අසුන්හි හුන්සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ආයුෂ්මත් වක්කලි තෙරුන්හට තෙල වදාළසේක:
“වක්කලි කිම, තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි? කිම, දුක් වේදනා අඩු වේ ද, වැඩි නො වේ ද? මේ දුක් වේදනාවන්ගේ අඩුවීම පැනෙයි ද, වැඩිවීම නො පැනේ ද?”
“වහන්ස මට නො සැහිය හැක්කැ, නො යැපිය හැකි. මාගේ දැඩි දුක් වේදනා වැඩිවෙයි, අඩු නො වේ. මේ දුක් වේදනාවන්ගේ වැඩීම පැනෙයි, නැවැත්ම නො පැනේ යි.
වක්කලි කිම තොපට කිසියම් කුකුසෙක් නැද්ද? කිසියම් විපිළිසරෙක් නැද්ද? වහන්ස, මට ඒකාන්තයෙන් කුකුස් අනල්ප ය, විපිළිසර අනල්ප යයි.
වක්කලි කිම තෙමේ තොපට ශීලයෙන් උපවාද නො කෙරේ ද? වහන්ස, තෙමේ මට ශීලයෙන් උපවාද නො කෙරේ යයි.
වක්කලි , ඉඳින් තෙමේ තොපට ශීලයෙන් උපවාද නො කෙරේ නම් එ කල්හි තොපගේ කුකුස කිම, විපිළිසර කිම? වහන්ස, මම බොහෝ කලෙක පටන් භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස එළඹෙනු කැමැත්තෙමි. යම්තාක් මම භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස එළඹෙන්නේ නම් එපමණකුත් බලමාත්‍රයෙක් ම සිරුරෙහි නැති.
වක්කලිය, කම් නැත. මේ කුණු කය දැකීමෙන් තොපට කවර වැඩෙක් ද? වක්කලි යමෙක් ධර්‍මය දකී නම් හේ මා දකියි, යමෙක් මා දකී නම් හේ ධර්‍මය දකියි. වක්කලි, දහම් දක්නේ මා දකියි, මා දක්නේ දහම් දකී. වක්කලි ඒ කිමෙකැයි හඟිවු ද: රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? යි. වහන්ස, අනිත්‍ය ය.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ ද? යි. වහන්ස, දුක් ය.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය “තෙල මගේ ය, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි දක්නට සුදුසු දැ යි? වහන්ස, මෙය නො වේ ම ය.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? යි වහන්ස, අනිත්‍ය ය ... තෙල මාගේ ආත්ම යි (දක්නට සුදුසු දැ යි?) වහන්ස, මෙය නො වේ ම ය.