1. 2. 4. 3.
යමක සූත්‍රය
85. ම විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති.
එසමයෙහි යමක නම් මහණහට යම්සේ “රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටියක් උපන.
බොහෝ භික්‍ෂූහු යමක නම් මහණහට යම්සේ රහත් මහණ කාබුන් මරණින් සිඳේ ද වැනසේ ද මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටිගතයෙක් උපනැ යි ඇසූහ.
එකලැ ඒ භික්‍ෂූහු ආයුෂ්මත් යමක තෙරුන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් යමක තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් යමක තෙරුන්ට “ඇවැත්නි, යමකයෙනි, “රහත් මහණ යම්සේ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, එපරිදි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටි ගතයෙක් තොපට උපන්නේ සැබෑ දැ? යි කීහ.
ඇවැත්නි, යම්සේ රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, එසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දහමක් මම දනිමි”යි.
ඇවැත්නි, යමකයෙනි, නහමක් මෙසේ කියවු. භාග්‍යවතුන් වහන්සේට නහමක් අභූතයෙන් චෝදනා කරවු. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම නො ම මැනැවි. “රහත් මහණ කය බිඳීමෙන් සිඳෙයි, වැනසෙයි මරණින් මතු නො වේ යි”, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නහමක් වදාරන සේකැ යි.
ආයුෂ්මත් යමක තෙමේ ඒ භික්‍ෂූන් විසින් මෙසේ ද කියනු ලබන්නේ යම්සේ රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටිය එසේ ම දෘෂ්ටි ස්ථාමයෙන්, දෘෂ්ටි පරාමර්‍ශනයෙන් පිවිසගෙන වහරයි.
යම් කලෙක ඒ භික්‍ෂූහු ආයුෂ්මත් යමක තෙරුන් ඒ ලාමක මිථ්‍යාදෘෂ්ටියෙන් වෙන්කරන්නට නො හැකි වූවාහු ද, එ කල්හි ඒ භික්‍ෂූහු හුනස්නෙන් නැගිට ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙනුවන්ට තෙල සැලකළහ: ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, යමක නම් මහණහට යම්සේ රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටියක් උපන. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අනුකම්පා පිණිස යමක මහණහු වෙත එළැඹෙත් නම් මැනැව යි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තුෂ්ණිම්භාවයෙන් ඉවසූහ.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් යමක තෙරුන් වෙත එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් යමක තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ. එකත්පස්වැ වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් යමක තෙරුනට තෙල වදාළහ: ඇවැත්නි, යමකයෙනි, යම්සේ “රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටි ගතයෙක් තොපට උපන්නේ සැබෑ දැ යි?
ඇවැත්නි, “යම්සේ රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි.