1. 2. 4. 2.
තිස්ස සූත්‍රය
84. සැවැත්නුවර:
එ කල්හි භාග්‍යවතුන් වහන්සේගේ නැන්දණියගේ (පියාගේ සහෝදරියගේ) පුත් ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ බොහෝ භික්‍ෂුන්ට මෙසේ කියති: “ඇවැත්නි, මාගේ කයත් හටගත් බර ඇත්තක් මෙනි. (අකර්‍මණ්‍ය ය.) දිශාවෝ ද මට නො පැහැදිලියහ. දහම්හු (පර්‍ය්‍යාප්තිධර්‍මයෝ) ද මට නො වැටහෙත්. ථිනමිද්දයත් මාගේ සිත මැඩගෙන සිටියි, නො ඇලුණෙම් ම බඹසර සරමි. දහම්හි මට විචිකිච්ඡාවත් වේ” යයි.
එ කල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ නැන්දණියගේ පුත් ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ බොහෝ භික්‍ෂුන්ට මෙසේ ආරෝචනා කෙරෙති: “ඇවැත්නි, මාගේ කයත් හටගත් බර ඇත්තක් මෙනි, දිශාවෝත් මට නො පැහැදිලියහ. දහම්හුත් මට නො වැටහෙත්. ථිනමිද්දයත් මාගේ සිත මැඩගෙන ගෙන සිටියි, නො ඇලුණෙම් බඹසර සරමි. දහම්හි මට විචිකිච්ඡාවත් වේ ය” කියා යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූ සේක: “මහණ, එව තොප මාගේ වචනයෙන් “ඇවැත්නි, තිස්සයෙනි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ”යි තිස්ස මහණහු අමතව”යි. වහන්ස, එසේ යයි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ආයුෂ්මත් තිස්සසයන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් තිස්සයනට “ඇවැත්නි, තිස්සයෙනි ශාස්තෲන් වහන්සේ තොප අමතන් සේකැ” යි තෙල කීය. ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ “ඇවැත්නි, එසේය”යි ඒ මහණහට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස්වැ හුන් ආයුෂ්මත් තිස්ස තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වලා සේක:
තිස්ස, තෙපි බොහෝ භික්‍ෂුන්ට මෙසේ සැලකළහු යනු සබැ ද? ඇවැත්නි, මාගේ කාය හටගත් බර ඇත්තක් මෙනි, දිශා ද මට නො පැහැදිළියැ, දහම්හු ද මය නො වටහත්, ථීනමිද්ධය ද ම සිත මැඩගෙන සිටියි. නො ඇලුණෙම් ම බඹසර හැසිරෙමි. දහම්හි මට විචිකිච්ඡා ද වෙයි කියා යි. වහන්ස, එසේ යැ.
තිස්ස, එ කිමෙකැයි හඟිවු ද? රූපයෙහි පහ නොවූ රග ඇති, පහ නො වූ ඡන්‍ද ඇති, පහ නො වූ ප්‍රේම ඇති, පහ නො වූ පිපාසා ඇති, පහ නො වූ පරිදාහ ඇති, පහ නො වූ තෘෂ්ණා ඇති පුඟුල් එ රූපයාගේ විපරිණාම අන්‍යථාභාව (වෙනස්වීම) හේතුයෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිත් ද? වහන්ස, එසේ යැ. මැනැවි මැනැවි තිස්ස. තිස්ස, රූපයෙහි අවිගතරාග පුද්ගලහට යම්සේ නම්, තෙල එසේ මැ වෙයි.
වේදනායෙහි පහ නො වූ රාග ඇති ... පහ නො වූ තෘෂ්ණා ඇති පුඟුල් හට ඒ වේදනාවගේ විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිද් ද? වහන්ස, එසේ යැ. මැනැවි මැනවි, තිස්ස. තිස්ස, වේදනායෙහි අවිගතරාග පුද්ගලහට යම්සේ නම්, තෙල එසේ මැ වෙයි.
සංඥායෙහි ... සංස්කාරයන්හි පහ නො වූ රාග ඇති ... පහ නො වූ තෘෂ්ණා ඇති පුඟුල්හට ඒ සංස්කාරයන්ගේ විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිත් ද? වහන්ස, එසේ යැ. මැනවි මැනවි, තිස්ස. තිස්ස, සංස්කාර විෂයෙහි අවිගතරාග පුද්ගලහට යම්සේ නම්, තෙල එසේ මැ වෙයි.
විඥානයෙහි පහ නොවූ රාග ඇති, පහ නො වූ ඡන්‍ද ඇති, පහ නො වූ ප්‍රේම ඇති, පහ නො වූ පිපාසා ඇති, පහ නො වූ පරිදාහ ඇති, පහ නො වූ තෘෂ්ණා ඇති පුඟුල්හට ඒ විඥානයාගේ විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිත් ද? වහන්ස, එසේ යැ. මැනැවි මැනැවි, තිස්ස. තිස්ස, විඥානයෙහි අවිගතරාග පුද්ගලහට යම්සේ නම්, තෙල එසේ මැ වෙයි.
තිස්ස, ඒ කිමැයි හඟි ද? රූපයෙහි පහ වූ රාග ඇති, පහ වූ ඡන්‍ද ඇති, පහ වූ ප්‍රේම ඇති, පහ වූ පිපාසා ඇති, පහ වූ පරිදාහ ඇති, පහ වූ තෘෂ්ණා ඇති පුද්ගලහට එ රූපයාගේ වෙනස් වීමෙන් අන් අයුරු වීමෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිද් ද? වහන්ස, තෙල නො වේ මැයි. මැනැවි මැනැවි, තිස්ස. තිස්ස, රූපයෙහි පහ වූ රාග ඇති පුඟුල්හට යම්සේ නම් තෙල එසේ මැ වෙයි.