1. 2. 2. 9.
රාධ සූත්‍රය
71. සැවැත්නුවර:
එකල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙකැ හුන්හ. එකත් පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
වහන්ස, කිසෙයින් දන්නා කිසෙයින් දක්නා පුඟුල්හට සවිඥානක මේ ශරීරයෙහිත් බාහිර රූපාදි සර්‍වනිමිත්තයන්හිත් අහංකාර දෘෂ්ටිය – මමීකාර තෘෂ්ණාව – මාන යන අනුශයධර්‍මයෝ නො වෙත් දැ යි?
රාධය, අතීත – අනාගත – ප්‍රත්‍යුත්පන්න යම් රූපයෙක් ඇත් ද, ආධ්‍යාත්ම හෝ බාහිර හෝ ඖදාරික හෝ සූක්‍ෂම හෝ හීන හෝ ප්‍රණීත හෝ දුරැ හෝ ළඟැ හෝ යම් කිසි රූපයෙක් ඇත් ද, ඒ සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වෙයි” මෙසේ තෙල යථාභූත කොට සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. යම් කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර ... අතීත – අනාගත – ප්‍රත්‍යුත්පන්න යම් විඥානයෙක් ඇත් ද, අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි දුරැ වේවයි ළඟැ වේවයි යම් කිසි විඥානයෙක්
ඇත් ද ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වෙයි” මෙසේ තෙල ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දකියි. රාධය මෙසේ දන්නා මෙසේ දක්නා පුඟුල්හට සවිඥානක මේ ශරීරයෙහිත් බාහිර රූපාදි සර්‍ව නිමිත්ත විෂයෙහිත් අහංකාර දෘෂ්ටිය – මමීකාර තෘෂ්ණාව – මාන යන අනුශයයෝ නො වෙත් යි ... ආයුෂ්මත් රාධ තෙරණුවෝ රහතුන් අතුරෙහි අන්‍යතර වූහ යි.
1. 2. 2. 10.
සුරාධ සූත්‍රය
72. සැවැත්නුවර:
එකල්හි ආයුෂ්මත් සුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියහ. භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන් ආයුෂ්මත් සුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
වහන්ස, කිසෙයින් දන්නාහුගේ කිසෙයින් දක්නාහුගේ සිත සවිඥානක වූ මේ කයෙහිත් බැහැර රූපාදි සියලු නිමිති විෂයෙහිත් අහිඞ්කාර (-දිට්ඨි) මමිඞ්කාර (-තණ්හා) මාන පහවූයේ වේ ද, මාන කොටස් මැනැවින් ඉක්මැ වූයේ ක්ලේශව්‍යපශමයෙන් ශාන්ත වූයේ කෙලෙසුන් කෙරෙන් මිදුණේ වේ දැ යි?
සුරාධ, ආධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි අතීත – අනාගත – ප්‍රත්‍යුත්පන්න යම්කිසි රූපයෙක් ඇත් ද දුර හෝ ළඟ හෝ යම් රූපයෙක් ඇත් ද, ඒ සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ ය” යි මෙසේ තෙල ඇති සැටි සම්‍යක් ප්‍රඥාවෙන් දැන උපාදාන විසින් නො ගෙන කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙයි.
යම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර ... අතීත – අනාගත – ප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්සිකි විඥානයෙක් ඇත් ද, දුර හෝ ළඟ හෝ යම් විඥානයෙක් ඇත් ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ ය” යි මෙසේ තෙල ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දැන උපාදාන විසින් නො ගෙන කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙයි.
සුරාධ, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ සිත මේ විඥාන සහිත කයෙහි ද, බාහිර සියලු නිමිත්තයන්හි ද දිට්ඨි - තණ්හා - මානයෙන් පහවූයේ වෙයි, මාන කොටස් මොනොවට ඉක්මැවූයේ ශාන්ත වූයේ මොනොවට මිදුණේ වෙයි. ... ආයුෂ්මත් සුරාධ තෙරණුවෝ රහතුන් අතුරෙහි අන්‍යතර කෙනෙක් වූහ යි.
දෙවැනි අරහන්තවර්‍ග යි.
එහි උද්දානය:
උපාදිය, මඤ්ඤමාන, යළි අභිනන්‍දනා අනිච්ච, දුක්ඛ, අනත්ත, අත්තනිය, රජනීය, රාධ, සුරාධ දැ යි සූත්‍ර දශයකින් දෙවැනි වර්‍ගය පිරුණේ වෙයි.