2. අරහන්ත වර්ගය
1. 2. 2. 1.
උපාදිය සූත්රය
63. සැවැත්නුවර:
එ සමයෙහි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියේ යැ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ යැ. එකත් පසෙක හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය:
“වහන්ස, මම් භාග්යවතුන් වහන්සේ වෙතින් යම් ධර්මයක් අසා එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා යොමු කළ සිත් ඇති වැ වාස කෙරෙම් ද, මට එබඳු ධර්මයක් භාග්යවතුන් වහන්සේ සැකෙවින් දෙසනසේක් නම් මැනැවි” යි.
“මහණ, තෘෂ්ණා-දෘෂ්ටි-මාන විසින් දැඩි වැ ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙ යි, දැඩි වැ නො ගන්නේ මිදුණේ වේ” යයි.
“භාග්යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ” යි.
“මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්මයාගේ අර්ත්ථය කිසෙයින් තෙපි විස්තර විසින් දනිවු දැ” යි.
වහන්ස, රූපය (තණ්හා – මාන – දිට්ඨි විසින්) දැඩි වැ ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, දැඩි වැ නො ගන්නේ මාරපාශයෙන් මිදුණේ වෙයි, වේදනාව උපාදාන විසින් ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, උපාදාන විසින් නො ගන්නේ මාරපාශයෙන් මිදුණේ වෙයි, සංඥාව ... සංස්කාර උපාදාන විසින් ගන්නේ බැඳුණේ වෙයි, නො ගන්නේ මිදුණේ වෙයි. විඥානය උපාදාන විසින් ගන්නේ මෘත්යුපාශයෙන් බැඳුණේ වෙයි, නො ගන්නේ මෘත්යුපාශයෙන් මිදුණේ වෙයි. වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් භාෂිත මේ ධර්මයාගේ අර්ත්ථය විස්තර වශයෙන් මම මෙසේ දනිමි යි.
මහණ, මැනැවි, මැනැවි. මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්මයාගේ අර්ත්ථය තෙපි විස්තර විසින් දනිවු. මහණ, රූපය තණ්හාදි විසින් ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, තණ්හාදී විසින් නො ගන්නේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය තණ්හාදී විසින් ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, නො ගන්නේ මාරපාශයෙන් මිදුණේ වේ. මහණ, මා විසින් සැකෙවින් භාෂිත මේ ධර්මයාගේ අර්ත්ථය මෙසේ විස්තර වශයෙන් දතයුතු.
එකල්හි ඒ මහණ භාග්යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්යවතුන් වන්සේ වැඳ පැදකුණු කොට නික්මැ ගියේ යැ.
ඉක්බිති ඒ මහණ එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා යොමු කළ සිත් ඇති වැ වාස කරනුයේ නො බෝ කලකින් මැ යමක් සඳහා කුලපුත්හු මොනොවට ගිහිගෙන් නික් මැ බුදුසසුන්හි පැවිදි වෙත් ද , මගබඹසර අවසනැ වූ ඒ උතුම් අර්හත්වය මේ අත්බැව්හි මැ තමන් මැ මගනුවණින් දැන පසක් කොට එයට එළැඹැ වාස කෙළේ ය. “ජාතිය ක්ෂය විය, මගබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ රහත්බව පිණිස අන්කිසෙක් නැතැ” යි දත්තේය. ඒ මහණ රහතුන් වහන්සේ අතර අන්යතරයෙක් වූයේ යි.
1. 2. 2. 2.
මඤ්ඤමාන සූත්රය
64 සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියේ යැ ... භාග්යවතුන් වහන්සේට තෙල සැල කළේ ය:
“වහන්ස, ... (මම්) නිවන් කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද, භාග්යවතුන් වහන්සේ මට එබඳු දහමක් සැකෙවින් දෙසන සේක් නම් මැනවි” යි.
මහණ, තෘෂ්ණා - මාන - දෘෂ්ටි මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, මඤ්ඤනා විසින් නො හඟනේ මාරපාශයෙන් මිදුණේ වෙයි.
භාග්යවතුන් වහන්ස, දන්නා ලදැයි, සුගතයන් වහන්ස, දන්නා ලදැ යි.
මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්මයාගේ අර්ත්ථය තෙපි කිසෙයින් විස්තර විසින් දනිවු දැ යි?
වහන්ස, රූපය මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, මඤ්ඤනා විසින් නො හඟනේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, නො හඟනේ මිදුණේ වෙයි. වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ භාෂිතයාගේ අර්ත්ථ මෙසෙයින් මම විස්තර වශයෙන් දනිමි යි.
මහණ, මැනවි මැනවි. මහණ, මා විසින් සැකෙවින් දේශනා කළ භාෂිතයාගේ අර්ත්ථ මෙසෙයින් තෙපි විස්තර විසින් දනිවු නම් ඒ මනා යි. මහණ, රූපය තෘෂ්ණාදි මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, නො හඟනේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුනේ වෙයි, නො හඟනේ මාරපාශයෙන් මිදුණේ වෙයි. මහණ මා විසින් සැකෙවින් දේශිත ධර්මයාගේ අර්ත්ථ මෙසෙයින් විස්තර වශයෙන් දත යුතු.
එකල්හි ඒ මහණ භාග්යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන භාග්යවතුන් වහන්සේ පැදකුණු කොට නික්මැ ගියේ යැ. ඉක්බිති ඒ මහණ එකලා ව ගණයා කෙරෙන් වෙන් වැ ... එ මහණ රහතුන් වහන්සේ අතර අන්යතරයෙක් වූයේ යි.