1. 2. 2. 6.
අනත්ත සූත්‍රය
68. සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ:
වහන්ස, මම් ... නිවන් කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් සැකෙවින් දෙසනසේක් නම් මනා යි.
මහණ, යමක් අනාත්ම ද එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍ද ප්‍රහාණ කළයුතු.
භාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස දන්නා ලදැ යි.
මහණ, මා විසින් සැකෙවින් පවසන ලද වචනයාගේ අරුත් තෙපි කිසෙයින් විතර විසින් දනිවු දැ යි?
වහන්ස, රූපය අනාත්ම යි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කළයුතු වෙයි. වේදනාව අනාත්ම යි ... සංඥාව අනාත්ම යි ... සංස්කාර අනාත්ම යි ... විඥානය අනාත්ම යි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණය කළයුතු වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ මම මෙසේ විස්තර වශයෙන් දනිමි යි.
මහණ, මැනවි මැනවි. මහණ, මා විසින් සැකෙවින් පවසන ලද වචනයාගේ අරුත් තෙපි විතර විසින් මෙසේ දනිවු, ඒ මැනවි. මහණ, රූපය අනාත්ම යි, එහි ලා තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු යි, වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනාත්ම යි, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු. මහණ, මා විසින් සැකෙවින් පැවසූ වචනයාගේ අරුත් විතර විසින් මෙසේ දතයුත්තේ යි.
එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... ඒ මහණ රහතුන් අතර අන්‍යතරයෙක් වූයේ යි.
1. 2. 2. 7.
අනත්තනිය සූත්‍රය
69. සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් ... එකත් පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ ය:
වහන්ස, මම් ... නිවන් කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් සැකෙවින් දේශනා කරන සේක් නම් මනා යි.
මහණ, යමක් තමා අයත් ද, එහි තෘෂ්ණාච්ඡන්‍ද හළයුතු යි.
භාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ යි.
මහණ, මා විසින් සැකෙවින් දේශිත මේ වචනයාගේ අර්‍ත්‍ථ කිසෙයින් තෙපි විස්තර වශයෙන් දනිවූ දැ යි?
වහන්ස, රූපය තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. වේදනාව තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. සංඥාව ... සංස්කාර තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. විඥානය තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථ මම් මෙසේ විස්තර වශයෙන් දනිමි යි.
මහණ, මැනවි, මැනවි. මහණ මා විසින් සැකෙවින් පැවසූ වචනයේ අරුත් මෙසේ තෙපි විතර විසින් දනිවු. මහණ, රූපය තමා සතු නොවෙ යි, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු ය. වේදනාව තමාසතු නො වෙයි, ... සංඥාව තමා සතු නො වෙයි ... සංස්කාර තමා සතු නො වෙයි ... විඥානය තමා සතු නො වෙයි. එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු. මහණ මා විසින් සැකෙවින් පැවසූ මේ වචනයේ අරුත් මෙසේ විස්තර වශයෙන් දතයුත්තේ යි.
එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... ඒ මහණ රහතුන් අතර අන්‍යතරයෙක් ද වූයේ යි.
1. 2. 2. 8.
රජනීය සූත්‍රය
70. සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් ... එකත්පස්වැ හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා ව කෙලෙස් තවන වැර ඇති වැ නිවන කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට දේශනා කරනසේක් නම් මැනැවැ යි.
මහණ, රඤ්ජනද්‍රව්‍යාකාරයෙන් සිටි යමක් ඇත් ද, එහි තාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු යි.
භාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස දන්නා ලදැ යි.