1. 2. 2. 7.
අනත්තනිය සූත්‍රය
69. සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් ... එකත් පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ ය:
වහන්ස, මම් ... නිවන් කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් සැකෙවින් දේශනා කරන සේක් නම් මනා යි.
මහණ, යමක් තමා අයත් ද, එහි තෘෂ්ණාච්ඡන්‍ද හළයුතු යි.
භාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ යි.
මහණ, මා විසින් සැකෙවින් දේශිත මේ වචනයාගේ අර්‍ත්‍ථ කිසෙයින් තෙපි විස්තර වශයෙන් දනිවූ දැ යි?
වහන්ස, රූපය තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. වේදනාව තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. සංඥාව ... සංස්කාර තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. විඥානය තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථ මම් මෙසේ විස්තර වශයෙන් දනිමි යි.
මහණ, මැනවි, මැනවි. මහණ මා විසින් සැකෙවින් පැවසූ වචනයේ අරුත් මෙසේ තෙපි විතර විසින් දනිවු. මහණ, රූපය තමා සතු නොවෙ යි, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු ය. වේදනාව තමාසතු නො වෙයි, ... සංඥාව තමා සතු නො වෙයි ... සංස්කාර තමා සතු නො වෙයි ... විඥානය තමා සතු නො වෙයි. එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු. මහණ මා විසින් සැකෙවින් පැවසූ මේ වචනයේ අරුත් මෙසේ විස්තර වශයෙන් දතයුත්තේ යි.
එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... ඒ මහණ රහතුන් අතර අන්‍යතරයෙක් ද වූයේ යි.
1. 2. 2. 8.
රජනීය සූත්‍රය
70. සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් ... එකත්පස්වැ හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා ව කෙලෙස් තවන වැර ඇති වැ නිවන කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට දේශනා කරනසේක් නම් මැනැවැ යි.
මහණ, රඤ්ජනද්‍රව්‍යාකාරයෙන් සිටි යමක් ඇත් ද, එහි තාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු යි.
භාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස දන්නා ලදැ යි.
මහණ, මා විසින් සැකෙවින් දේශිත වචනයේ අර්‍ත්‍ථ කිසෙයින් තෙපි විස්තර විසින් දනිවු දැ යි?
වහන්ස, රූපය රඤ්ජනද්‍රව්‍යාකාරයෙන් සිටියේ ය, එහිලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු වෙයි. වේදනාව රඤ්ජනද්‍රව්‍යාකාරයෙන් සිටියා යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු වෙයි. සංඥාව ... සංස්කාර ... විඥානය රඤ්ජනද්‍රව්‍යාකාරයෙන් සිටියේ යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථ මම් මෙසේ විස්තර වශයෙන් දනිමි යි.
මහණ, මැනවි මැනවි. මහණ මා විසින් සැකෙවින් දේශිත වචනයාගේ අර්‍ත්‍ථ තෙපි විස්තර විසින් දනිවු. ඒ මැනවි. මහණ, රූපය රඤ්ජන ද්‍රව්‍යාකාරයෙන් සිටියේ වෙයි. එහිලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණය කළ යුතු යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය රඤ්ජන ද්‍රව්‍යාකාරයෙන් සිටියේ වෙයි, එහිලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණය කළයුතු.
එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී සිට භාග්‍යවතුන් වහන්සේ අභිවාදනා කොට නික්මැ ගියේ යැ. ඉක්බිති ඒ මහණ එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන කරා යොමු කළ සිතැති වැ වාස කරනුයේ නොබෝ කලකින් මැ යමක් සඳහා කුලපුත්හු මොනොවට ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදි වෙත් ද , බඹසර කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත්‍වය තමා මැ දැන පසක් කොට එයට එළැඹැ වාස කෙළේ යි. “ජාතිය ක්‍ෂය වියැ, බඹසර වැස නිමවන ලදී. කරණී කරන ලද, මෙ රහත් බව සඳහා කළමනා අන් කිසෙක් නැතැ”යි වෙසෙසින් දත්තේ යැ. ඒ මහණ රහතුන් අතුරෙහි අන්‍යතරයෙක් වූයේ යි.
1. 2. 2. 9.
රාධ සූත්‍රය
71. සැවැත්නුවර:
එකල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙකැ හුන්හ. එකත් පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
වහන්ස, කිසෙයින් දන්නා කිසෙයින් දක්නා පුඟුල්හට සවිඥානක මේ ශරීරයෙහිත් බාහිර රූපාදි සර්‍වනිමිත්තයන්හිත් අහංකාර දෘෂ්ටිය – මමීකාර තෘෂ්ණාව – මාන යන අනුශයධර්‍මයෝ නො වෙත් දැ යි?
රාධය, අතීත – අනාගත – ප්‍රත්‍යුත්පන්න යම් රූපයෙක් ඇත් ද, ආධ්‍යාත්ම හෝ බාහිර හෝ ඖදාරික හෝ සූක්‍ෂම හෝ හීන හෝ ප්‍රණීත හෝ දුරැ හෝ ළඟැ හෝ යම් කිසි රූපයෙක් ඇත් ද, ඒ සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වෙයි” මෙසේ තෙල යථාභූත කොට සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. යම් කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර ... අතීත – අනාගත – ප්‍රත්‍යුත්පන්න යම් විඥානයෙක් ඇත් ද, අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි දුරැ වේවයි ළඟැ වේවයි යම් කිසි විඥානයෙක්