1. 2. 2. 4.
අනිච්ච සූත්‍රය
66. සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් ... භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය.
“වහන්ස, මම් යම් දහමක් භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන්වූයෙම් නො පමාවූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම්, නිවන් කරා යොමු කළ සිත් ඇතියෙම්, වාස කෙරෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් දෙසනසේක් නම් මැනැවි” යි.
මහණ, යමෙක් අනිත්‍ය ද, එහි තොපගේ තෘෂ්ණා ඡන්‍දය දුරලියයුතු යි.
භාග්‍යවතුන් වහන්ස, දන්නාලද යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ යි.
මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ කිසෙයින් තෙපි විස්තර විසින් දනිවු ද?
වහන්ස, රූපය අනිත්‍ය යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණය කළ යුතු වෙයි. වේදනාව අනිත්‍ය යැ ... සංඥාව අනිත්‍ය යැ, ... සංස්කාර අනිත්‍ය යැ, ... විඥානය අනිත්‍ය යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණය කළයුතු වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථ මම් විස්තර වශයෙන් මෙසේ දනිමි යි.
මැනවි මැනවි මහණ. මහණ මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ මෙසේ විස්තර වශයෙන් දනිවු, මහණ, රූපය අනිත්‍ය යැ, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු යි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනිත්‍ය යැ, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු යි. මහණ මා විසින් සැකෙවින් භාෂිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ මෙසේ දතයුත්තේ යි.
එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... ඒ මහණ රහතුන් අතර අන්‍යතරයෙක් වූයේ යි.
1. 2. 2. 5.
දුක්ඛ සූත්‍රය
67. සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ ය:
වහන්ස, මම් ... නිවන් කරා යොමුකළ සිතැති වැ වාස කෙරෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් සැකෙවින් දෙසනසේක් නම් මැනවි යි.
මහණ, යමක් දුක් ද එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු යි.
භාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ යි.
මහණ, මා විසින් සැකෙවින් දේශිත වචනයාගේ අර්‍ත්‍ථ කවර අයුරකින් තෙපි විස්තර වශයෙන් දනිවු දැයි.
වහන්ස, රූපය දුක් යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වෙයි. වේදනාව දුක් යැ, ... සංඥාව දුක් යැ ... සංස්කාර දුක් යැ ... විඥානය දුක් යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථ මම් විස්තර වශයෙන් මෙසේ දනිමි යි.