4. 1. 11.
චීවර සූත්රය
294. එක් සමයෙක ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙමේ මහත් බික්සඟන සමග දක්ඛිණාගිරි දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙයි. එසමයෙහි ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගේ සද්ධිවිහාරික වූ බෙහෙවින් තරුණ වූ තිසක් පමණ භික්ෂූහු සිකපද පිළිකෙව් කොට ගිහි බවට පෙරලුනාහු වෙති. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ දකුණුගිරි දනව්වෙහි කැමතිතාක් චාරිකා කොට රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වැඳ එකත්පසෙක හිඳ ගත්තේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ මෙය කීහ:
“ඇවැත්නි, ආනන්දයෙනි, කෙතෙක් කරුණු නිසා භාග්යවතුන් වහන්සේ විසින් කුලයන්හි තිකභෝජනය* පණවන ලද්දේ දැ” යි.
වහන්ස, කාශ්යපයෙනි, කරුණු තුනක් නිසා භාග්යවතුන් වහන්සේ විසින් කුලයන්හි තිකභෝජනය පණවන ලදි: දුශ්ශීල පුද්ගලයන්ට නිග්රහ කිරීම පිණිස ද, ප්රියශීල භික්ෂුන්ගේ පහසු විහරණය පිණිස ද, ලාමක අදහස් ඇත්තෝ, (කුලවිනවා බුදිමින්) පක්ෂය (=එවැනි ලාමකයන්ගෙන් ම වඩාගත් සමූහයා) නිසා සඞ්ඝයා නො බිඳිත්වා යි ද, වැලි කුලයන් කෙරෙහි වූ අනුද්දයාව නිසා ද වේ. වහන්ස, කාශ්යපයෙනි, මේ කරුණු තුණ නිසා භාග්යවතුන් වහන්සේ විසින් කුලයන්හි තිකභෝජනය පණවන ලදි.
ඇවැත්නි, ආනන්දයෙනි, ඉදින් එසේ නම් කුමක් හෙයින් තෙපි ඉඳුරන්හි නො රක්නා ලද දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදි වැරීමෙහි නො යෙදුනු මේ නව භික්ෂූන් සමග චාරිකාවෙහි හැසිරෙවු ද? ශස්ය නසමින් හැසිරෙණු වැන්න. කුලයන් නසමින් හැසිරෙණු වැන්න. අවැත් ආනන්දයෙනි, තොපගේ පිරිස බිඳේ. ඇවැත්නි, බෙහෙවින් තරුණ වූ ඔහු බිඳෙත්. මේ ලදරු තෙමේ තමන් පමණ නො දනි යි.
“වහන්ස, කාශ්යපයෙනි, මගේ හිසෙහි පලිතයෝත් (=පැසුනු කෙසුත්) හට ගත්හ. එහෙත් අද දු ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ගේ කුමරක වාදයෙන් නො මිදෙමු” යි.
ඇවැත්නි, ආනන්දයෙනි, ඒ එසේ මැයි: (කුමරකයන් වෙනම හැසිරෙණ බැවින් තෙපි දු කුමරක වාදයට නිසි ය යි සූ යේ ය:) තෙපි ඉඳුරන්හි නො රක්නා ලද දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදිවැරීමෙහි නො යෙදුණු මේ නවක භික්ෂූන් සමග චාරිකාවෙහි හැසිරෙවු. ශස්ය නසමින් හැසිරෙණු වැන්න. කුලයන් නසමින් හැසිරෙණු වැන්න. ඇවැත්නි ආනන්දයෙනි, තොපගේ පිරිස බිඳේ. ඇවැත්නි, බෙහෙවින් නවක වූ ඔහු බිඳෙත්. මේ ලදරු තෙමේ තමන් පමණ නො දනි යි.
ථුල්ලනන්දා මෙහෙණ “ආර්ය්ය වූ මහසුප් තෙරුන් විසින් ආර්ය්ය වූ වේදේහ මුනි ආනන්ද ස්ථවිර තෙමේ කුමරකවාදයෙන් ගරහන ලදැ” යි ඇසූ. එකල්හි ථුල්ලනන්දා මෙහෙණ නො සතුටු සිත් ඇත්තී “කිමෙක් ද, පෙර අන්තොටු වූ ම ආර්ය්ය වූ මහසුප් තෙරණුවෝ ආර්ය්ය වූ වේදේහමුනි ආනන්ද තෙරුන්ට කුමරක වාදයෙන් ගැරහිය යුතු ය යි සිතද්දැ”යි නො සතුටු වදන් පහළ කළා ය.
ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ථුල්ලනන්දා මෙහෙණ මේ වචන කියද්දී අසූහ. ඉක්බිති ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මෙය කීහ: ඇවැත්නි, ආනන්දයෙනි, ථුල්ලනන්දා මෙහෙණ විසින් ඒකාන්තයෙන් කරුණු නො සලකා ද්වේෂයෙන් වචන කියන ලදි. ඇවැත්නි, මම යම් කලෙක කෙස් රැවුල් බා කාසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් ද, (එවක් පටන්) ඒ භාග්යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේ හැර අන් ශාස්තෘවරයකු (මගේ ශාස්තෘ ය යි) උදෙසන්නට (=උදෙසූ බවක්) නො දනිමි.
ඇවැත්නි, පෙර ගිහිවූ ම මට “ගෘහවාසය සම්බාධ (=අවකාශ රහිත) ය, කෙලෙස් රජස් රැස්වන මග ය. පැවිද්ද අභ්යවකාස ය. ගිහිගෙයි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරුසුදු දෙවූ සකක් බඳු කොට (මොහොතකුදු මල නො ගන්වා හැසිරිය යුතු) මේ බඹසර හැසිරෙන්නට සුකර නො වේ. මම කෙස් රැවුල් බා කාසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙම් නම් මැනවැ”යි මේ සිත විය. ඇවැත්නි, ඒ මම පසුකලෙක මහඟුවත් කඩකපාගත් පිලියෙන් සඟල (සිවුරක්) කොට ගෙණ ලොව යම් රහත්හු වෙත් නම් ඒ රහතුන් උදෙසා කෙස් රැවුල් බා ඒ කාසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙමි.