1. කස්සප වර්‍ගය
4. 1. 1.
සන්තුට්ඨ සූත්‍රය
284. සැවැත්නුවර–
මහණෙනි, මේ කාශ්‍යප තෙමේ ඉතරීතර චීවරයෙන් (රූක්‍ෂප්‍රණීතාදීන් ලද පරිදි යම් කිසි සිවුරකින්) සන්තුෂ්ට - සතුටු වූයේ වෙයි ඉතරීතරචීවර සන්තෝසයෙහි ගුණ කියනසුලු වූයේ, සිවුරු හේතුවෙන් අයුතු සෙවුමට නුසුදුසු පිළිවෙතට නො ද පැමිණෙයි. සිවුරු නො ලැබ නො ද තැවෙයි. සිවුරු ලැබ ද ගිජු නො වූයේ, මුසපත් නො වූයේ, තෘෂ්ණායෙන් නො වළඳනා ලදුයේ දොස් දක්නා සුලු වූයේ, ප්‍රත්‍යවේක්‍ෂාඥාන ඇතියේ පරිභෝග කෙරෙයි.
මහණෙනි, මේ කාශ්‍යප තෙමේ ඉතරීතර පිණ්ඩපාතයෙන් සතුටු වූයේ ඉතරීතර පිණ්ඩපාත සංතුෂ්ටියෙහි ගුණ කියනසුලු වූයේ, පිණ්ඩපාත හේතුවෙන් අනුලොම් නොවූ අයුරු සෙවුමට නො ද පැමිණෙයි. පිණ්ඩපාතය නො ලැබ ද නො තැවෙයි. පිණ්ඩපාතය ලැබ ද ගිජු නුවූයේ, මුසපත් නුවූයේ, තෘෂ්ණාවෙන් යටපත් නො වූයේ එහි දොස් දක්න සුලු වූයේ ප්‍රත්‍යවේක්‍ෂාඥාන ඇතියේ පරිභෝග කෙරෙයි.
මහණෙනි, මේ කාශ්‍යප තෙමේ යම් කිසි සෙනසුනකින් සතුටු වූයේ, යම්කිසි සෙනසුනකින් සතුටු වීමෙහි ගුණ කියනසුලු වූයේ, සෙනසුන් හේතුවෙන් නුසුදුසු සෙවුමට නො ද පැමිණෙයි. සෙනසුන නො ලැබ ද නො තැවෙයි. සෙනසුන ලැබ ද ගිජු නො වූයේ, මුසපත් නො වූයේ, තෘෂ්ණාවෙන් නො මැඩුනේ එහි දොස් දක්නාසුලු වූයේ, පස්විකුම් නුවණ ඇතියේ පරිභෝග කෙරෙයි.
මහණෙනි, මේ කාශ්‍යප තෙමේ ලද යම් කිසි ගිලන්පස බෙහෙසත් පිරිකරකින් සතුටු වූයේ, යම් කිසි ගිලන්පස බෙහෙසත් පිරිකරකින් සතුටු වීමෙහි ගුණ කියනසුලු වූයේ, ගිලන්පස බෙහෙසත් පිරිකර හේතුවෙන් නුසුදුසු අයුක්තානේවෂණයට නො ද පැමිණෙයි. ගිලන්පස බෙහෙසත් පිරිකර නො ලැබ ද නො තැවෙයි. ගිලන්පස බෙහෙසත් පිරිකර ලැබ ද ගිජු නො වූයේ, මුසපත් නො වූයේ තෘෂ්ණායෙන් නො වෙළුනේ, එහි දොස් දක්නාසුලු වූයේ, නිඃසරණප්‍රඥා ඇතියේ පරිභෝග කෙරෙයි.
එහෙයින් මහණෙනි, මෙහි මෙසේ හික්මිය යුතු. ඉතරෙතර චීවරයෙන් සතුටු වන්නමෝ ඉතරෙතර චීවරසංතුෂ්ටියෙහි ගුණ කියන්නමෝ වන්නෙමු. සිවුරු හේතු කොට අප්‍රතිරූප අයුක්තානේවෂණයට නො ද පැමිණෙන්නෙමු. සිවුරු නො ලැබ ද නො තැවෙන්නෙමු. සිවුරු ලැබ ද ගිජු නො වන්නමෝ, මුසපත් නො වූවමෝ, තෘෂ්ණායෙන් නොමැඩුනමෝ, දොස් දක්නාසුලු වූවමෝ, නිඃසරණප්‍රඥා ඇත්තමෝ පරිභෝග කරන්නෙමු. යම් කිසි පිණ්ඩපාතයකින් සතුටු වන්නෙමු … යම් කිසි සෙනසුනකින් සතුටු වූවමෝ වන්නෙමු … යම් කිසි ගිලන්පස බෙහෙසත් පිරිකරකින් සතුටු වූවමෝ, යම් කිසි ගිලන්පස බෙහෙසත් පිරිකරකින් සතුටු වීමෙහි ගුණ කියනසුල්ලමෝ වන්නෙමු. ගිලන්පස බෙහෙසත් පිරිකර හේතු කොට නුසුදුසු අයුතු අන්‍වෙෂණයට නො ද පැමිණෙන්නෙමු. ගිලන්පස බෙහෙසත් පිරිකර ලැබ ද ගිජු නො වූවමෝ, මුසපත් නො වූවමෝ තෘෂ්ණාවෙන් නො වැළදුනමෝ, දොස් දක්නා සුලු වූවමෝ, නිඃසරණප්‍රඥා ඇත්තමෝ පරිභෝග කරන්නෙමු යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
මහණෙනි, කාශ්‍යප හා සම වන්නට නොද යමෙක් කාශ්‍යප හා සම වන්නේ නම් (එබන්දකු වන්නට) හෝ තොපට අවවාද කරමි අවවාද කරණ ලද තොප විසිනුදු ඒ පිණිස පිළිපැදිය යුතු යි.
4. 1. 2.
අනොත්තාපී සූත්‍රය
285. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ද ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් කලැ පලසමවතින් නැගී සිටි සේක් ආයුසමත් මහසුප් තෙරණුවන් වෙත එළඹියහ එළඹ ආයුෂ්මත් මහසුප් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ට මෙය කීහ:
“ඇවැත්නි, කාශ්‍යපයෙනි, කෙලෙස් තවන වැර නැත්තේ පවට බිය නැත්තේ සම්බෝධිය පිණිස නො නිසි ය. නිවන පිණිස නො නිසි ය. අනුත්තර වූ අර්‍හත්ත්‍වය පිණිස නො නිසි ය. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ ම පවට බිය ඇත්තේ ම සම්බෝධිය පිණිස නිසි ය. නිවන පිණිස නිසි ය. අනුත්තර අර්‍හත්ත්‍වය ලැබීම පිණිස නිසි ය”යි මෙය කියනු ලැබෙයි.
“ඇවැත්නි, කොපමණෙකින් කෙලෙස් තවන වැර නැත්තේ පවට බිය නැත්තේ සම්බෝධිය පිණිස නො නිසි වේ ද, නිවන පිණිස නො නිසි වේද, අනුත්තර අර්‍හත්ත්‍වය ලැබීම පිණිස නො නිසි වේ ද? ඇවැත්නි, කොපමණකින් කෙලෙස් තවන වැර ඇත්තේ පවට බිය ඇත්තේ සම්බෝධිය පිණිස නිසි වේ ද, නිවන පිණිස නිසි වේද, අනුත්තර අර්‍හත්ත්‍වය ලැබීම පිණිස නිසි වේ දැ” යි?
ඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවතින්නාහ යි වීර්‍ය්‍යය නො කෙරේ ද, උපන් ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීණ නො වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය නො කෙරේද, නූපන් කුශල ධර්‍මයෝ නූපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය නො කෙරේ ද, උපන් කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය නො කෙරේ ද, ඇවැත්නි, මෙසේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැත්තේ වේ.
ඇවැත්නි, කෙසේ නම් පවට බිය නැත්තේ වේ ද?
ඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, උපන් ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ නො වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, නූපන් කුශලධර්‍මයෝ නූපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, උපන් කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, ඇවැත්නි, මෙසේ පවට බිය නැත්තේ වේ.
ඇවැත්නි, මෙසේ කෙලෙස් තවන වැර නැත්තේ, පවට බිය නැත්තේ, සම්බෝධිය පිණිස නොනිසි වේ, නිවන පිණිස නො නිසි වේ. අනුත්තර අර්‍හත්ත්‍වය ලැබීම පිණිස නො නිසි වේ.