4. 1. 12.
තථාගත පරම්මරණ සූත්රය
295. එක්කලෙක ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ද, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩ වෙසෙත්. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කාලයෙහි පලසමවතින් නැගී සිටියෝ ආයුෂ්මත් කසුප් තෙරුන් වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහසුප් තෙරුන්ට මෙය කීහ.
ඇවැත්නි, කාශ්යපයෙනි, කිමෙක් ද, තථාගත (සත්ත්ව) තෙමේ මරණින් මතුවේ ද?
ඇවැත්නි, “සත්ව තෙමේ මරණින් මතු වෙයි” යන මෙය භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදි.
ඇවැත්නි, කිමෙක් ද, සත්ත්ව තෙමේ මරණින් මතු නො වේ ද?
ඇවැත්නි “සත්ත්ව තෙමේ මරණින් මතු නො වෙයි” යන මෙ ද භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදී.
ඇවැත්නි, කිමෙක් ද, සත්ත්ව තෙමේ මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ ද?
ඇවැත්නි, “සත්ත්ව තෙමේ මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි” යන මේද භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදී.
ඇවැත්නි, කිමෙක් ද, සත්ත්ව තෙමේ මරණින් මතු නො ම වන්නේත් නො ම නො වන්නේත් වේ ද?
ඇවැත්නි, “සත්ත්ව තෙමේ මරණින් මතු නො ම වන්නේත් නො ම නො වන්නේත් වෙයි” යන මෙ ද භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදි.
ඇවැත්නි, කුමක් හෙයින් මෙය භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලද්දේ ද?
ඇවැත්නි, මෙය අර්ත්ථ සහිත වූයේ නො වෙයි. මගබඹසරට මුල් වූයේ නො වෙයි. කළකිරීම පිණිස, නො ඇලීම පිණිස, නිරෝධය පිණිස, ව්යූපශමය පිණිස, විශිෂ්ටඥානය පිණිස, සම්බෝධිය පිණිස, නිවන පිණිස නො පවතී.
එහෙයින් එය භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදි.
ඇවැත්නි, වැලි, කිමෙක් භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ද?
ඇවැත්නි, ‘මේ දුකැ’යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. ‘මේ දුක හටගැණීමේ හේතුව’යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. ‘මේ දුක නැති වීම වූ නිවන’ යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි ‘මේ දුක් නැති වීමට පමුණුවන පිළිවෙතැ’ යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි.
ඇවැත්නි, ‘මේ දුකැ’යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. ‘මේ දුක හටගැණීමේ හේතුව’යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. ‘මේ දුක නැති වීම වූ නිවන’ යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි ‘මේ දුක් නැති වීමට පමුණුවන පිළිවෙතැ’ යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි.
ඇවැත්නි, කුමක් හෙයින් මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ද?
ඇවැත්නි, මෙය අර්ත්ථ සහිත ය. මෙය මගබඹසරට මුල් වූයේ ය. මෙය කළකිරීම පිණිස, නො ඇල්ම පිණිස, නිරෝධය පිණිස, ව්යූපශමය පිණිස, විශිෂ්ටඥානය පිණිස, සම්බෝධිය පිණිස, නිවන පිණිස පවතී. එහෙයින් එය භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
4. 1. 13.
සද්ධම්මපතිරූපක සූත්රය
296. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි … වැඩ වසන සේක.
එකල්හි ආයුෂ්මත් මහකසුප් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ … එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැළකළහ: