4. 2. 9.
කස්සක සූත්රය
155. සැවැත්නුවර–
එකල්හි භාග්යවතුන් වහන්සේ නිවණ පිළිබඳ දැහැමි කථායෙන් භික්ෂූන්ට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. තෙද ගන්වන සේක. සිත හර්ෂ ගන්වන සේක. ඒ භික්ෂූහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇත්තාහු බණ අසත්.
එකල්හි පවිටු මරුහට මේ අදහස වි ය. “මේ මහණ ගොයුම් නිවණ පිළිබඳ දැහැමි කථායෙන් භික්ෂූන් … හර්ෂ ගන්වයි ඒ භික්ෂූහු ද … බණ අසත්. පැණැස වනසන්නට මහණ ගොයුම් වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි!
ඉක්බිති පවිටු මාර තෙමේ ගොවිවෙසක් මවා ගෙණ මහ නඟුලක් කර තබාගෙණ දික් කෙවිටිලීයක් ගෙණ හෘතාහෘත කේශ (ඔබමොබ විසිර ගිය කෙහෙ) ඇත්තේ හණ වතක් ඇඳ ගත්තේ මඩ වැකුණු පයින් යුක්තව භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට මෙය කීය. ශ්රමණය, ගොනුන් දැක්කෙහි ද?
පවිට, තට ගොණුන්ගෙන් කවර වැඩෙක් ද?
ශ්රමණය, ඇස මාගේ ම ය. රූප මාගේ ම ය. චක්ඛුසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්රමණය, කොහි ගොස් මාකෙරෙන් මිදෙන්නෙහි ද? ශ්රමණය, කණ මාගේ ම ය. ශබ්දයෝ මාගේ ම ය. සෝතසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්රමණය, නැහැය මාගේ ම ය, ගන්ධයෝ මාගේ ම ය. ඝාණසම්පස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්රමණය, දිව මාගේ ම ය. රස මාගේ ම ය, ජිව්හාසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්රමණය, කය මාගේ ම ය, ස්ප්රෂ්ටව්ය මාගේ ම ය. කායසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්රමණය, සිත මාගේ ම ය, දහම් මාගේ ම ය, මනෝසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්රමණය, කොහි ගොස් මාකෙරෙන් මිදෙන්නෙහි ද?
පවිට; ඇස තාගේ ම ය. රූප තාගේ ම ය. චක්ඛුසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. එවිට, යම් තැනෙක ඇස නැද් ද, රූප නැද් ද, චක්ඛුසම්ඵස්ස හා විඤ්ඤාණායතනය ද නැද් ද, එවිට එහි තාගේ ගමනෙක් නැත.
කණ තාගේ ම ය, ශබ්ද තාගේ ම ය, සෝතසම්ඵස්ස හා විඤ්ඤාණායතනය තාගේ ම ය. පවිට, යම්තැනෙක කණ නැද් ද, ශබ්ද නැද් ද, සෝතසම්ඵස්ස හා විඤ්ඤාණායතනය ද නැද් ද, එවිට එහි තාගේ ගමනෙක් නැත.
පවිට, නැහැය තාගේ ම ය. ගන්ධයෝ තාගේ ම ය. ඝානසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. … පවිට, එහි තාගේ ගමනෙක් නැත.
පවිට, දිව තාගේ ම ය, රස තාගේ ම ය, ජිව්හාසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. … පවිට, එහි තාගේ ගමනෙක් නැත.
පවිට, කය තාගේ ම ය. ස්ප්රෂ්ටව්යය තාගේ ම ය. කායසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. … එහි තාගේ ගමනෙක් නැත.
පවිට, සිත තාගේ ම ය. දහම් තාගේ ම ය. මනෝසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. පවිට, යම් තැනක සිත නැද් ද, දහම් නැද් ද, මනෝසම්ඵස්සය හා විඤ්ඤාණායතනයත් නැද් ද, එවිට එහි තාගේ ගමනෙක් නැත.
[මරු:]
මේ මාගේ ය යි යමක් කියද් ද, යම් කෙනෙක් මා ගැත්තේ ය යි කියද්ද, ඉදින් එහි ලා මුබගේ සිතෙක් ඇත් නම් ශ්රමණය, මා කෙරෙන් නොමිදෙන්නෙහි ය.
[භගවත්හු:]
(මාගේ ය යි) යමක් කියද් ද, එය මගේ නොවෙයි. යම් කෙනෙක් මා ගැත්තේ ය යි කියද් ද, මම ‘ඔහු’ ද නොවෙමි. පවිට, මෙසේ දනුව. මා ගිය මඟත් නොදන්නෙහි ය.
ඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදන් විය.
4. 2. 10.
රජ්ජ සූත්රය
156. එක් කලෙක භාග්යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි හිමවත් පෙදෙසෙහි වන කිළියෙක වැඩ වසන සේක. එකල්හි එකලා වූ චිත්තවිවේකයෙහි යෙදුනු භාග්යවතුන් වහන්සේට “නො නස්මින් නො නස්වමින් පරස්වහරණය (ධනහානිය) නො කරමින්-නොකරවමින් ශෝක නො කරමින් නොකරවමින් දැහැමින් රජය කරවන්නට හැක්කේ දෝ”යි මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය.
ඉක්බිති පවිටු මාර තෙමේ තම සිතින් භාග්යවතුන් වහන්සේ සිත්හි පරිවිතර්කය දැන භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට මෙය කීය: වහන්ස, භගවත් තෙමේ නො නස්වමින් නො නස්වමින් ධනහානි නො කරමින්-නො කරවමින් ශෝක නො කරමින් ශෝක නො කරවමින් දැහැමෙන් රජය කෙරේවා. සුගත තෙමේ රජය කෙරේවා යි.
[භගවත්හු:]
පවිට, “වහන්ස, භගවත් තෙමේ නො නස්මින් නො නස්වමින් ධනහානි නො කරමින් නො කරවමින් ශෝක නො කරමින් නො කරවමින් දැහැමින් රජය කෙරේවා, සුගත තෙමේ රජය කෙරේවා”යි යම්හෙයෙකින් තෝ මට මෙසේ කියහි ද, තෝ කුමක් දකිහි ද?
[මරු:]
වහන්ස, භගවත්හු විසින් සතර ඍද්ධිපාදයෝ වඩන ලද්දාහ. බහුල කරණ ලද්දාහ. යානයක් මෙන් කරන ලද්දාහ. වාස්තුවක් මෙන් කරණ ලද්දාහ. නිතර තමා කෙරෙහි පිහිටුවන ලද්දාහ. පුරුදු කරණ ලද්දාහ. භාවනායෙන් සම්පූර්ණ කරණ ලද්දාහ. වහන්ස, ඉදින් භගවත් තෙමේ කැමති වන්නේ හිමවත් මහපව්ව රන් ම යයි සිතන්නේ නම් රන්පව්වෙක් වන්නේ ය.
[භගවත්හු:]
ස්වර්ණසඞ්ඛාත ජාතරූපයෙන් නිමි හුදු පව්වෙක් වේ නම් එමෙන් දෙගුණයක් මහත් පව්වක් වුව ද එක් පුරුෂයකුගේ සිතට නොසෑහේ. මෙසේ දන්නා නුවණැත්තේ සම ව හැසිරෙන්නේ ය.